Tuesday, February 14, 2012

මිනිසුන්ගෙන් සැදුනු කවිය... 
























වැසි සුළං පහර ලැබ
හිරු රැසින් කර ව ගිය
දළ සැකිලි අතුපතර
කටු කොහොල් දැක දැක ම
මලක මුදු මෙලෙක ගැන
සොහොයුර මා ලියනු කෙලෙස. 

මිරිඟු දිය සිළු ලෙලෙන 
ඉර රවන මද්දහන
මහපොලොව කැකෑරෙන
ගිනියමින් දැවි දැවි ම 
මද නලක සුවය ගැන 
සොහොයුර මා ලියනු කෙලෙස. 

පද වැලක මුල් බිජුව 
බෙලි මසට කාවැදුණු
මූදු වැලි කැටය ලෙස
හද මසට කාවැදී 
ඇනි ඇනී රිදුම් දී
ලේ කඳුළු වැල් බැඳී 
කවි මුතු ව ඉපදුනී. 

ඒ කවියේ පේලි අතර 
සිය ගණන් වචන මැද 
දසදහස් අකුරු ළඟ
මොහොතක් නැවතී බලන්න 
මේ පනගැහෙන අකුරු ය;
හද ගැහෙන මිනිසුන් ය.

1 comment:

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.