Monday, April 16, 2012

මගේ පුංචි සුරංගනාවී













දඟකාර ඔබේ කෙහෙමඬල මා සිඹිනවා 
සිහින් හිරු කෙඳි ඇවිත් මාව ඇහැරවනවා 
කවුළුවෙන් එන සුළඟ මගේ නෙතු පියවලා 
දෝත පුරවා ගෙනත් බිංදු පිනි ඉහිනවා 
ආදරය කියන්නේ මේකදෝ 
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ 
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී 


හිසපුරා රිදීසුණු මල් වැස්ස හැලෙනවා 
දෑත වත විදාගෙන මං ඔහේ තෙමෙනවා 
තියන තියනා පයට වලා පාවඩ එලා
අනන්තය සොයාගෙන අයාලේ ඉගිලෙනා
ආදරය කියන්නේ මේකදෝ 
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ 
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී 


ඔබව සිහිවී තනිව සිනාසෙන මා දිහා 
ළඳුන් හිනැහී බලයි මට උමතු දැයි කියා 
අත් පොඩිති වන වනා සිඟිති කිරි සිනා පා 
නාඳුනන පොඩිත්තෙක් මවෙත සමු දී ගියා 
ආදරය කියන්නේ මේකදෝ 
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ 
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී

1 comment:

  1. ආදරේ කියන්නේ නම් ඕකටම තමයි..... ;)

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.