Sunday, July 1, 2012

හොයාගෙන බලන්න (3) - The Terminal

             
             John F. Kennedy ගුවන් තොටුපලට ගොඩබසින Viktor Novorski ගේ ගුවන් බලපත්‍රය වලංගු නොවන බව හදිසියේ ම පරිඝණකය මඟින් හඳුනා ගැනෙයි. මේ හේතුවෙන් ඇමෙරිකාවට ඇතුළුවීමට අවසර නැතිබව ගුවන්තොටුපල බලධාරීන් ඔහුට දන්වා සිටියි. ඔහු ගුවනින් පැමිණෙන අතරතුර ඔහුගේ මවුබිම වන Krakozhia වෙහි (මන:කල්පිත රටකි) විප්ලවකාරී ක්‍රියා හේතුවෙන් සිවිල් යුද වාතාවරණයක් මතුවී තිබේ. මෙම තත්වය මත ඇමෙරිකාව තවදුරටත් Krakozhia ව ස්වෛරී රාජ්‍යයක් වශයෙන් පිළිනොගැනීම හේතුවෙන් ඔහුට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කෙරෙයි. ඔහුට ගුවන් තොටුපලින් එලියට යාමට ද නොහැකි ය; නැවත තම රට වෙත යාමට ද නොහැකි ය. මේ සියලු කාරණා මත ඔහු ගුවන් තොටුපල පර්යන්තයෙහි සිරකරුවෙකු වන අතර ඔහුගේ අභිරහස් Peanut Can (රටකජු කෑනය) එක සමඟ ගුවන්තොටුපල පර්යන්තයෙහි ජීවත්වීමට පටන්ගනියි.
              මෙම චිත්‍රපටයෙහි තේමාවේ එන පරිදි ම චිත්‍රපටයේ චරිත මඟින් අපෙන් නැවත නැවත අසන ප්‍රශ්ණයක් ඇත. “ඔබ මඟ බලා හිඳින්නේ කුමක් වෙනුවෙන්ද“? කෙනෙකු ප්‍රමාද වුණු ගුවන් යානයක් එනතුරු ද කෙනෙකු තමා කරන නීරස රැකියාවෙහි විශ්‍රාම වැටුප ලැබෙනතුරු ද කෙනෙකු තම සිතෙහි ඇඳුණු පිවිතුරු ආදරය පැමිණෙන තුරු ද මඟ බලා සිටින අතරතුර Viktor Novorski නිව්යෝක් නගරයට පය තැබීම සඳහා මඟ බලාගෙන සිටියි. “ඔබ මඟ බලා හිඳින්නේ කුමක් වෙනුවෙන්ද“? ගුවන් තොටුපල තරම් මෙම ප්‍රශ්ණය අප වෙත දමාගැසීමට සඳහා සුදුසු ම පසුබිමක් සපයන තවත් තැනක් නොමැත. නියම පුද්ගලයා වෙනුවෙන් නියම මොහොත වෙනුවෙන් නියම තීරණය වෙනුවෙන් අපි අපේ මුළු ජීවිත කාලය පුරා ම බලා හිඳිමු. 
                එක් දිනයකදී Viktor විසින් ගුවන් තොටුපල පර්යන්තයේදී හමුවන සුරූපිනියක වන Amelia හට පවසනුයේ තමා නිව්යෝක් නගරයට පැමිණෙනුයේ Saxophone (සැක්සෆෝන්) වාදකයෙකු වන Benny Golson ගේ සමරු අත්සනක් ලබා ගැනීමට බව ය. මෙහි දී හෙලිවන කරුණ වන්නේ ඔහු සුරැකිව ලඟ තබාගෙන සිටින Peanut ටින් එක තුල තිබුණේ  වෙන කුමක්වත් නොව “Great day in Harlem“ නම් ප්‍රකට ඡායාරූපය හා තවත් සමරු අත්සන් රාශියක් බවයි.
                උග්‍ර ජෑස් (Jazz) සංගීත ලෝලියෙකු වන ඔහුගේ පියා 1958 දී හංගේරියානු පුවත්පතකින් මෙම ඡායාරූපය සොයාගත් පසු ඡායාරූපයේ සිටින ජෑස් සංගීතඥයන් 57 දෙනාගේ ම සමරු අත්සන් ලබාගන්නා බවට ප්‍රතිඥා දී ඇති ඇත. ඔහු අත්සන් 56 ක් ලබාගැනීමට සමත් වූවත් එම කාර්යය සම්පූර්ණ කිරීමට පෙර ඔහු මියගොස් ඇත.Viktor නිව්යෝක් නගරයට පැමිණෙන්නේ මෙම කාර්යය සම්පූර්ණ කිරීම සඳහා ය.


"Life is waiting"
“ජීවිතය යනු බලාපොරොත්තුවයි“

"Great day in Harlem"

Trailer එක බලන්න 

3 comments:

  1. "Life is waiting"
    “ජීවිතය යනු බලාපොරොත්තුවයි“

    ඔව් එක ඇත්තක්... ජිවිතේ කියන්නේම බලාපොරොත්තු ගොන්නක්..

    ReplyDelete
  2. මට ආස හිතෙන විදිහේ ෆිල්ම් එකක්. කොහොම හරි හොයාගෙන බලන්න ඕනේ. ඔයාගේ ඉදිරිගමනට සුභ පැතුම්.

    ReplyDelete
  3. මම බැලුව. මෙය මගේ ජීවිතයට එක්තරා ආකාරයකින් සමීප චිත්‍රපටියක්. ටොම් හෑන්ක්ස්ගේ රඟපෑම ඉස්තරම්. මම ආස කරන චිත්‍රපටි එකතුවක් මං ගාව තියෙනව. මේකත් අරගන්නවා කොහොම හරි. මම කොහොමත් සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිෂ්පාදනය වන චිත්‍රපටි වලට කැමතියි.

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.