Sunday, July 31, 2016

සිහින දකින්නා








පලා යන්නට
මේ නපුරු සිහිනයෙන්
මේ ලොවේ තනිවී
සිටිමි මා අවදියෙන්

මේ නිහඬ බව
කිලිටි කරන්නට
කිසිවෙකුත් නැත
නන් දොඩවන්න;
කවුරුද, මෙහි කුමක් කරන්නේද
කිසිවෙකු නැත ප්රශ්ණ කරන්නට;
මගේ ලෝකයයි,
මං විතරමයි.

අතරමං වී ඇත්නම් මා
සොයාගන්න,
නමුත් මාහට
නැවත එන්නට යැයි
ඇවිටිලි නොකරන්න.

හිඳගන්න මා පසෙකින්
එවිට ඔබ හැඳිනගනු ඇත
මා මෙහි නිතර
පැමිණෙන්නේ කිමද,
මාගේ සිහින දිවයිනට
පිහිනා යන්නට හේතුව.

ඒ කිසිවක් නැතත්
ඔබ හද අත්ලට
මා ආත්මයේ ස්පර්ශය
උණුහුමට දැනෙනු ඇත.
බාගදා හැකිවේවි
අප දෙදෙනාටම
මේ සිහින දිවයිනෙහි
එකට අතරමං වන්නට.


Monday, June 27, 2016

එපමණයි ඔබහට කීමට ඇත්තේ මාහට...














හිඳී නම් මා නෙතු අවදියෙන් 
ඔබ මගේ ඇස්දෙකේ පැටලි පැටලී ඉන්න 
හිඳී නම් මා නිදිවැදී 
ඔබ මගේ හීනයේ දැවටි දැවටී ඉන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට.

සීත වැහි බිඳු ඇවිත් ඔය කම්මුල් තෙමයි නම් 
ඒ බිඳුවල සැඟවී ඉන්නේ මමයි 
උණුසුම් හිරු කිරණ විත් ඔබට කරදර කරයි නම් 
ඒ කිරණේ සැඟවී ඉන්නේ මමයි 
මා කොහේ සිටියත් නැතත් 
ඔය හිතේ කොහේ හෝ අඳුුරු මුල්ලක් දෙන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට. 

මල් සුවඳ මුසු පවනෙ සැඟවී මා එන්නම් 
ඔබේ මුදු සිරුර මා සිපගෙන හමන්නම් 
ගලායන කාලය මා නවත්වන්නම් 
ඔය සිනාවේ මා නැවතී හිඳින්නම් 
මා කිසිවක් කීවත් නැතත් 
ඔබ මගේ හදවතට ඇහුම්කන් දී ඉන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට. 



Thursday, June 9, 2016

වෙන කාටවත් නෙමෙයි තියා ගත්තේ ඔබටමයි













සඳ එලිය සේ සුදුම නිකැලැල් සිතුම් 
කිසිදාක ඉටු නොවුණු නොයිඳුල් පැතුම් 
හීනයක් වාගේම මේ සොඳුරු හැඟුම් 
වෙන කාටවත් නෙමෙයි 
තියා ගත්තේ ඔබටමයි 

හිමිදිරියෙ ළහිරු කෙඳි මා ඇහැරවාවී 
තවම නිදි නෙතු දිහා මං බලා ඉන්නම් 
ඒ ලොවින් පිබිදිලා මගෙ ලොවට ආවොතින් 
මං මගේ තුති පඬුරු මුව මත්තෙ තබන්නම් 

සේද කෙහෙ රැලිවලින් කිතිකවනවානම්
ඔබේ සුව උකුල මත මං නිදාගන්නම්
'ආදරෙයි' කියූ විට නෙතු වසිනවානම් 
රතුපාට තෙත කොපුල් මං උරා බොන්නම් 

මේ පුංචි මල් ගොමුවෙ අතරමං වෙලානම් 
මල් කිනිති නොපාගා මං හොරෙන් එන්නම් 
මිදුල දිග මගේ ලඟ තුරුලු වී ඉන්නකං 
නිමක් නැති රස කතා මං අහන් ඉන්නම්. 

සඳ එලිය සේ සුදුම නිකැලැල් සිතුම් 
කිසිදාක ඉටු නොවුණු නොයිඳුල් පැතුම් 
හීනයක් වාගේම මේ සොඳුරු හැඟුම් 
වෙන කාටවත් නෙමෙයි 
තියා ගත්තේ ඔබටමයි.

Wednesday, January 6, 2016

කොළඹ අහස කළුවරයි.










බස් බාගේ තෙරපි තෙරපි
කෝච්චියේ පැද්දි පැද්දි
දවස ගානෙ අපි යනවා
කොළඹ වන්දනාවේ.

හීන දුන්නාට ජීවිතයට

පාට දුන්නෑ කවදාවත්.
ඒ හීන පොදි බැඳන්,
හෝල්ට් එකේ ඉස්ටේසමෙ
කන්තෝරුවෙ වැඩපලේ
පාසලේ පන්තියේ
මේ කොළඹ අහස යට,
හෙවනක් හොයාගෙන
ඇවිදිනව තාමත්.

දූවිලි හුළඟින් පිරුනට

යන්න බෑ මට ගමට
අතැර මේ නගරය;
ජීවිතයෙන් වෙන්වී ගිය
ඉහල පහල හුස්මගන්න
පුංචි පුංචි මතකයන්
හැමතැනම තැවරිලා.

දඬුකෝඩු උන් එක්ක

කිරිකෝඩු කලවමේ
බස්බාගේ තෙරපි තෙරපි
කෝච්චියේ පැද්දි පැද්දි
අපි වාගේ උන් ඒවී
කොළඹ වන්දනාවේ.

මේ... කොළඹ නගරයි,
කොයි තරම් දුන්නාද
ඒ තරම් උදුරාගත්
පපුවක් නැති පොලීකාරයා.