Wednesday, January 6, 2016

කොළඹ අහස කළුවරයි.










බස් බාගේ තෙරපි තෙරපි
කෝච්චියේ පැද්දි පැද්දි
දවස ගානෙ අපි යනවා
කොළඹ වන්දනාවේ.

හීන දුන්නාට ජීවිතයට

පාට දුන්නෑ කවදාවත්.
ඒ හීන පොදි බැඳන්,
හෝල්ට් එකේ ඉස්ටේසමෙ
කන්තෝරුවෙ වැඩපලේ
පාසලේ පන්තියේ
මේ කොළඹ අහස යට,
හෙවනක් හොයාගෙන
ඇවිදිනව තාමත්.

දූවිලි හුළඟින් පිරුනට

යන්න බෑ මට ගමට
අතැර මේ නගරය;
ජීවිතයෙන් වෙන්වී ගිය
ඉහල පහල හුස්මගන්න
පුංචි පුංචි මතකයන්
හැමතැනම තැවරිලා.

දඬුකෝඩු උන් එක්ක

කිරිකෝඩු කලවමේ
බස්බාගේ තෙරපි තෙරපි
කෝච්චියේ පැද්දි පැද්දි
අපි වාගේ උන් ඒවී
කොළඹ වන්දනාවේ.

පොලී නෑ ණය නෑ

ඇරියස් නෑ උකසක්;
මේ කොළඹ නගරයයි,
කොයි තරම් දුන්නාද
ඒ තරම් උදුරාගත්.

2 comments:

  1. කලින් කිව්වා වගේ ම දිගට ම ලියන්න කියලා තමා මුලින් ම කියන්න තියෙන්නේ... මොනවා වුණත් උඹේ ලියැවිල්ල පට්ටයි......

    ජයවේවා

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.