මට ඔබේ වන්නට බැරි වුනත්ඔබ මගේ වන්නට බැරි වුනත්අපි අපේ වන්නට බැරිවුනත්මේ බැඳීමත් මහ අරුමයක්.පොඩි උන් වගේ අපි තරහ වෙනහසරැලි නඟා යලි යහළු වෙන.මිතුදමකි මේ මිතුදම නොවනමිතුදම ද කිසිදා නොහඳුනන.ලොව නමක් නැති දේවල් නැතත්මේ ආදරය බව දැන දැනත්අපෙ බැඳීමට දෙමු එක නමක්මේ බැඳීමට නෑ කිසි නමක්.
Friday, June 15, 2012
මේ බැඳීමට නෑ කිසි නමක්
Saturday, June 2, 2012
තව හඬන්නට මට කඳුළු නෑ...
ඇය - ඔබ දුර නොයන් මට මේ තරම්
ඔබ ළඟ ඉන්න බැරිවෙන තරම්.
ඔහු - මට ළං නොවෙන් ඔබ මේ තරම්
මට දුර යන්න බැරිවෙන තරම්.
ඇය - ඔහුගෙන් නොලද සෙනෙහස අරං
ආ වසන්තය ඇයි පමා වී.
ඔහු - මගෙ ඉරි තැළුණු හදවත අරං
යමි නවාතැන තව දුර වැඩී.
ඇය - ඔබෙ උර මඬල මා හිස හොවන්
සුව විඳින්නට මට වරම් නෑ.
ඔහු - පරසතු මලට මගෙ හිත බැඳන්
තව හඬන්නට මට කඳුළු නෑ.
Friday, May 18, 2012
හොයාගෙන බලන්න
ඉරානයේ දකුණු ටෙහෙරානයේ දුප්පත් පවුලක සාමාජිකයෙකු වන ‘අලී‘ අන්ඩ දැමීමට ටව්මට ගෙනා ඔහුගේ නැඟනියගේ එකම සපත්තු ජෝඩුව නැතිකරගනී. දුප්පත්කමින් මිරිකී සිටින සිය දෙමාපියන්ට මෙම අහිමිවීම හෙලි නොකිරීමට ඔවුන් ගිවිස ගනිති. අලීගේ කැන්වස් සපත්තු ජෝඩුව ‘සාරා‘ විසින් උදෑසන පාසලට දමන අතර නිවසින් පිටව පාසලට නොගොස් අතරමඟ නැවතී සිටින අලී වෙත ගෙනවිත් දෙන්නීය. මේ හේතුවෙන් දීප්තිමත් ශිෂ්‍යෙයකු වන අලී තෙවරක් ම පාසල් යාමට ප්‍රමාද වේ. මේ සෙල්ලම හැමදා කිරීමට නොහැකි ය.
සාරාට ඇගේ නැතිවූ සපත්තු ජෝඩුව සොයාගැනීමට හැකිවෙයිද? අලීට ඔහුගේ නැඟනිය වෙනුවෙන් සපත්තු ජෝඩුවක් දිනාගැනීමට හැකිවෙයිද? අලුත් සපත්තු ජෝඩුවක් ගෙනඒම සඳහා ඔවුන්ගේ පියාට මුදල් සොයාගැනීමට හැකිවෙයිද?
බිම්අඟලක් වෙනුවෙන් ගහමරාගන්නා ලෝකයේ අණ්ඩ දැමූ කුඩා රෝසපාට සපත්තු ජෝඩුවක් වෙනුවෙන් හටන් කරන පුංචි එවුන්ගේ හිත් මොනතරම් අහිංසකද පරිත්‍යාගශීලීද?
IMDB බලන්න
Wikipedia යන්න
Trailer එක බලන්න
Wednesday, May 2, 2012
සඳක සඳ හිනැහිලා...
සඳපාට සොරාගෙන
කොඳ මලිති පිපෙන්නේ
සඳක සඳ හිනැහිලා
මට කතා කරන්නේ
නෙතුපියන් යට රැඳුණු
ඔබේ රුව මවමි මා
බොඳ වලා මීඳුමේ
ඔබ ඇවිත් හිනැහෙනා
ඔබ දකින පුර සඳයි
මම මෙහේ දකින්නේ
ඔබ කෙතෙක් දුර වුවත්
මා ළඟයි සිතෙන්නේ
Tuesday, April 24, 2012
හොයාගෙන අහන්න
Il Divo යනු සංගීත කලමනාකරුවෙකු හා රියැලිටි ටීවී විනිසුරුවරයෙකු වන Simon Cowell විසින් 2004 දී ගොඩනඟන ලද Sebastian Iazambard, Carlos Marin, David Miller හා Urs Buhler යන ගායකයන්ගෙන් සැදුම්ලත් ඔපෙරාරූපී පොප් ගායක කන්ඩායමකි. මාහට අහම්බෙන් අසන්නට ලැබුණු Regresa A Mi ( Unbreak My Heart ...) යන මේ ගීතයේ භාෂාව නොතේරුනද ඇසූ දා සිට මේ දක්වා මෙම ගීතය සියක් වාරයක් රසවිඳ ඇත්තෙමි.
හිඟන්නා ගයන්නේ බඩිනි, බොරුකාරයා ගයන්නේ උගුරිනි, නියම සංගීතවේදියා ගයන්නේ හදවතිනි. නමුදු මුළු සිරුරින් ම ගයන ගායකයෙකු මේ තරම් ලංව මා දැක නොතිබිනි.
නියම ගායනය යනු කුමක්ද? ඔබට පිළිතුරක් ලැබේවි ...
Friday, April 20, 2012
හොයාගෙන බලන්න
මිලියනපති Edward Cole හා වැඩකරන පන්තියේ මිකැනික්වරයෙකු වන Cater Chamber අතර කිසිදු සමානකමක් දක්නට නොමැත, නමුදු ඔවුන්ගේ පෙනහළු පිලිකා හැර ය. ඔවුන්ගේ ජීවන මංසලේදී එකම රෝහල් කාමරයක් හවුලේ බෙදාගන්නා අතර ජීවිතය ගැන පසුතැවීම අතහැර දමා ජීවිතයේ කිරීමට කැමති වූ කිරීමට නොහැකි වූ සියලු දේවල් කිරීමට ගිවිස ගනිති. ඒ ඔවුන් "වල කජ්ජ ගැසීමට" පෙරය (before they "kick the bucket"). ඔවුන් දෙදෙනා ම එකතු වී "වැඩ ලැයිස්තුවක්" ("bucket list") සාදන අතර ඒ ලැයිස්තුව අනුව ජීවිතය සොයායාමේ වික්‍රමාන්විත චාරිකාවට සම්ප්‍රාප්ත වෙති. මේ ගමනේ දී ඔවුන් ජීවිතයේ සැබෑ අරුත, සුන්දරත්වය හා සතුට වටහා ගනිති.
"You only live once, so why not die with style?"
Monday, April 16, 2012
මගේ පුංචි සුරංගනාවී
දඟකාර ඔබේ කෙහෙමඬල මා සිඹිනවා
සිහින් හිරු කෙඳි ඇවිත් මාව ඇහැරවනවා
කවුළුවෙන් එන සුළඟ මගේ නෙතු පියවලා
දෝත පුරවා ගෙනත් බිංදු පිනි ඉහිනවා
ආදරය කියන්නේ මේකදෝ
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී
හිසපුරා රිදීසුණු මල් වැස්ස හැලෙනවා
දෑත වත විදාගෙන මං ඔහේ තෙමෙනවා
තියන තියනා පයට වලා පාවඩ එලා
අනන්තය සොයාගෙන අයාලේ ඉගිලෙනා
ආදරය කියන්නේ මේකදෝ
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී
ඔබව සිහිවී තනිව සිනාසෙන මා දිහා
ළඳුන් හිනැහී බලයි මට උමතු දැයි කියා
අත් පොඩිති වන වනා සිඟිති කිරි සිනා පා
නාඳුනන පොඩිත්තෙක් මවෙත සමු දී ගියා
ආදරය කියන්නේ මේකදෝ
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී
Subscribe to:
Posts (Atom)