Monday, July 30, 2012

හොයාගෙන බලන්න (4) - Braveheart



"They may take our lives, but they'll never take our freedom!"
             
(සත්‍ය ඓතිහාසික කථාන්දරයක් ඇසුරෙනි.)
                "William Wallace" ස්කොට්ලන්තය යටත් කරගෙන සිටි කෘර පාලක 'Longshanks' ගේ පාලනයට විරුද්ධව විප්ලවකාරී කැරලි දියත් කල අයෙකි. තම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඉංග්‍රීසි හමුදාවන්ට එරෙහිව සටන්කල ඔහුගේ පියා හා සොහොයුරා කුඩා කාලයේදී ම ඔහුට අහිමි වෙයි. නමුත් ඔහුගේ ආදරියද ඔහුට අහිමි වීමෙන් නෙත් හැරුණු William Wallace ස්කොට්ලන්තය නිදහස් කරගැනීමේ සටන, ඔටුන්න හිමි කුමරා වන "Robert the Bruce" සමඟ දියත් කරයි.
                මෙම සටනේ තීරනාත්මක මොහොතේදී එංගලන්ත රජුගේ වරප්‍රසාද වලට ලොල්වන ස්කොට්ලන්ත රදළයන්ගේ සහාය නොලැබී යන අතර Robert ගේ පියාගේ හා රදළයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් Wallace අල්ලා එංගලන්තයට භාර දෙනු ලබයි.
                 Wallace ලන්ඩන් අධිකරණයට පමුණුවන අතර ඔහුට පවසන්නේ තමා එංගලන්ත රජුට ද්‍රෝහි වූ බවත් ඒ පිලිබඳව සමාව අයැද සිටියහොත් ඔහුට ඉක්මන්,පහසු මරණයක් හිමිකර දෙන බවයි. සමාව අයැදීම ප්‍රතික්ෂේප කරන Wallace ගේ අතුනුබහන්(බඩවැල්) එලියට ඇද දමද්දීත්, රාජ්‍ය ද්‍රෝහියාගේ සමාව අයැදීමේ වේදනාත්මක කෙඳිරිල්ල ඇසීමට පැමිණි ජනයාට සහ පණ අදිමින් සිටින Longshanks ට ඇසෙන්නේ එකම වදනකි;

Monday, July 16, 2012

හිත තවම හයියයි මගේ


ජීවිතය සොඳුරුයි කියා     
ලියූ කවි පද පිටු පුරා     
මැකී යන්නට දෙන්නෙ නෑ     
හිත තවම හයියයි මගේ     

දිනෙක ඔබ ඒ යැයි කියා     
පැතූ පැතුමන් හිතපුරා     
බොඳව යන්නට දෙන්නෙ නෑ    
හිත තවම හයියයි මගේ    

වසන්තය ඒ යැයි කියා     
ඇස් රිදෙන කල් බලා හිටියා    
පයක් පස්සට ගන්නෙ නෑ    
හිත තවම හයියයි මගේ

Sunday, July 1, 2012

හොයාගෙන බලන්න (3) - The Terminal

             
             John F. Kennedy ගුවන් තොටුපලට ගොඩබසින Viktor Novorski ගේ ගුවන් බලපත්‍රය වලංගු නොවන බව හදිසියේ ම පරිඝණකය මඟින් හඳුනා ගැනෙයි. මේ හේතුවෙන් ඇමෙරිකාවට ඇතුළුවීමට අවසර නැතිබව ගුවන්තොටුපල බලධාරීන් ඔහුට දන්වා සිටියි. ඔහු ගුවනින් පැමිණෙන අතරතුර ඔහුගේ මවුබිම වන Krakozhia වෙහි (මන:කල්පිත රටකි) විප්ලවකාරී ක්‍රියා හේතුවෙන් සිවිල් යුද වාතාවරණයක් මතුවී තිබේ. මෙම තත්වය මත ඇමෙරිකාව තවදුරටත් Krakozhia ව ස්වෛරී රාජ්‍යයක් වශයෙන් පිළිනොගැනීම හේතුවෙන් ඔහුට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කෙරෙයි. ඔහුට ගුවන් තොටුපලින් එලියට යාමට ද නොහැකි ය; නැවත තම රට වෙත යාමට ද නොහැකි ය. මේ සියලු කාරණා මත ඔහු ගුවන් තොටුපල පර්යන්තයෙහි සිරකරුවෙකු වන අතර ඔහුගේ අභිරහස් Peanut Can (රටකජු කෑනය) එක සමඟ ගුවන්තොටුපල පර්යන්තයෙහි ජීවත්වීමට පටන්ගනියි.
              මෙම චිත්‍රපටයෙහි තේමාවේ එන පරිදි ම චිත්‍රපටයේ චරිත මඟින් අපෙන් නැවත නැවත අසන ප්‍රශ්ණයක් ඇත. “ඔබ මඟ බලා හිඳින්නේ කුමක් වෙනුවෙන්ද“? කෙනෙකු ප්‍රමාද වුණු ගුවන් යානයක් එනතුරු ද කෙනෙකු තමා කරන නීරස රැකියාවෙහි විශ්‍රාම වැටුප ලැබෙනතුරු ද කෙනෙකු තම සිතෙහි ඇඳුණු පිවිතුරු ආදරය පැමිණෙන තුරු ද මඟ බලා සිටින අතරතුර Viktor Novorski නිව්යෝක් නගරයට පය තැබීම සඳහා මඟ බලාගෙන සිටියි. “ඔබ මඟ බලා හිඳින්නේ කුමක් වෙනුවෙන්ද“? ගුවන් තොටුපල තරම් මෙම ප්‍රශ්ණය අප වෙත දමාගැසීමට සඳහා සුදුසු ම පසුබිමක් සපයන තවත් තැනක් නොමැත. නියම පුද්ගලයා වෙනුවෙන් නියම මොහොත වෙනුවෙන් නියම තීරණය වෙනුවෙන් අපි අපේ මුළු ජීවිත කාලය පුරා ම බලා හිඳිමු. 
                එක් දිනයකදී Viktor විසින් ගුවන් තොටුපල පර්යන්තයේදී හමුවන සුරූපිනියක වන Amelia හට පවසනුයේ තමා නිව්යෝක් නගරයට පැමිණෙනුයේ Saxophone (සැක්සෆෝන්) වාදකයෙකු වන Benny Golson ගේ සමරු අත්සනක් ලබා ගැනීමට බව ය. මෙහි දී හෙලිවන කරුණ වන්නේ ඔහු සුරැකිව ලඟ තබාගෙන සිටින Peanut ටින් එක තුල තිබුණේ  වෙන කුමක්වත් නොව “Great day in Harlem“ නම් ප්‍රකට ඡායාරූපය හා තවත් සමරු අත්සන් රාශියක් බවයි.
                උග්‍ර ජෑස් (Jazz) සංගීත ලෝලියෙකු වන ඔහුගේ පියා 1958 දී හංගේරියානු පුවත්පතකින් මෙම ඡායාරූපය සොයාගත් පසු ඡායාරූපයේ සිටින ජෑස් සංගීතඥයන් 57 දෙනාගේ ම සමරු අත්සන් ලබාගන්නා බවට ප්‍රතිඥා දී ඇති ඇත. ඔහු අත්සන් 56 ක් ලබාගැනීමට සමත් වූවත් එම කාර්යය සම්පූර්ණ කිරීමට පෙර ඔහු මියගොස් ඇත.Viktor නිව්යෝක් නගරයට පැමිණෙන්නේ මෙම කාර්යය සම්පූර්ණ කිරීම සඳහා ය.


"Life is waiting"
“ජීවිතය යනු බලාපොරොත්තුවයි“

"Great day in Harlem"

Trailer එක බලන්න 

Friday, June 15, 2012

මේ බැඳීමට නෑ කිසි නමක්


මට ඔබේ වන්නට බැරි වුනත්
ඔබ මගේ වන්නට බැරි වුනත්
අපි අපේ වන්නට බැරිවුනත් 
මේ බැඳීමත් මහ අරුමයක්.

පොඩි උන් වගේ අපි තරහ වෙන
හසරැලි නඟා යලි යහළු වෙන.
මිතුදමකි මේ මිතුදම නොවන
මිතුදම ද කිසිදා නොහඳුනන.

ලොව නමක් නැති දේවල් නැතත් 
මේ ආදරය බව දැන දැනත් 
අපෙ බැඳීමට දෙමු එක නමක්
මේ බැඳීමට නෑ කිසි නමක්. 

Saturday, June 2, 2012

තව හඬන්නට මට කඳුළු නෑ...




ඇය - ඔබ දුර නොයන් මට මේ තරම්
          ඔබ ළඟ ඉන්න බැරිවෙන තරම්. 

ඔහු  - මට ළං නොවෙන් ඔබ මේ තරම්
          මට දුර යන්න බැරිවෙන තරම්. 

ඇය - ඔහුගෙන් නොලද සෙනෙහස අරං
         ආ වසන්තය ඇයි පමා වී. 

ඔහු  - මගෙ ඉරි තැළුණු හදවත අරං 
          යමි නවාතැන තව දුර වැඩී. 

ඇය - ඔබෙ උර මඬල මා හිස හොවන් 
          සුව විඳින්නට මට වරම් නෑ. 

ඔහු  - පරසතු මලට මගෙ හිත බැඳන් 
          තව හඬන්නට මට කඳුළු නෑ.

Friday, May 18, 2012

හොයාගෙන බලන්න

      
               ඉරානයේ දකුණු ටෙහෙරානයේ  දුප්පත් පවුලක සාමාජිකයෙකු වන ‘අලී‘ අන්ඩ දැමීමට ටව්මට ගෙනා ඔහුගේ නැඟනියගේ එකම සපත්තු ජෝඩුව නැතිකරගනී. දුප්පත්කමින් මිරිකී සිටින සිය දෙමාපියන්ට මෙම අහිමිවීම හෙලි නොකිරීමට ඔවුන් ගිවිස ගනිති. අලීගේ කැන්වස් සපත්තු ජෝඩුව ‘සාරා‘ විසින් උදෑසන පාසලට දමන අතර නිවසින් පිටව පාසලට නොගොස් අතරමඟ නැවතී සිටින අලී වෙත ගෙනවිත් දෙන්නීය. මේ හේතුවෙන් දීප්තිමත් ශිෂ්‍යෙයකු වන අලී තෙවරක් ම පාසල් යාමට ප්‍රමාද වේ. මේ සෙල්ලම හැමදා කිරීමට නොහැකි ය.
                 
               සාරාට ඇගේ නැතිවූ සපත්තු ජෝඩුව සොයාගැනීමට හැකිවෙයිද? අලීට ඔහුගේ නැඟනිය වෙනුවෙන් සපත්තු ජෝඩුවක් දිනාගැනීමට හැකිවෙයිද? අලුත් සපත්තු ජෝඩුවක් ගෙනඒම සඳහා ඔවුන්ගේ පියාට මුදල් සොයාගැනීමට හැකිවෙයිද?

බිම්අඟලක් වෙනුවෙන් ගහමරාගන්නා ලෝකයේ අණ්ඩ දැමූ කුඩා රෝසපාට සපත්තු ජෝඩුවක් වෙනුවෙන් හටන් කරන පුංචි එවුන්ගේ හිත් මොනතරම් අහිංසකද පරිත්‍යාගශීලීද?


IMDB බලන්න 
Wikipedia යන්න 
Trailer එක බලන්න 

Wednesday, May 2, 2012

සඳක සඳ හිනැහිලා...














සඳපාට සොරාගෙන 
                    කොඳ මලිති පිපෙන්නේ 
සඳක සඳ හිනැහිලා 
                    මට කතා කරන්නේ 

නෙතුපියන් යට රැඳුණු 
                    ඔබේ රුව මවමි මා
 බොඳ වලා මීඳුමේ 
                    ඔබ ඇවිත් හිනැහෙනා

ඔබ දකින පුර සඳයි 
                    මම මෙහේ දකින්නේ 
ඔබ කෙතෙක් දුර වුවත් 
                    මා ළඟයි සිතෙන්නේ