Saturday, August 31, 2013

නිහඬ සියුමැලි සමනළී


නිහඬ සියුමැලි සමනළී 
නිල් ඇස් දෙකෙන් හරි දොඩමළුයි. 
ඔහේ නැලවෙන විසේකාරී 
මගේ හීනෙ දඟ වැඩ කරයි. 

ඈත ජීවන මංතලේ 
එක දිනක ඔබ හමුවෙමි කියා 
ඔබෙන් දුරකට යන්න යන්න 
ඔබ තව තවත් මට ළං වුනා. 

සීත සඳ පිනි ආදරේ ළඟ 
ගැහැණු සිතකින් උපදිනා 
හිතුමතේ කීවාට නාහන
පිරිමි හිත මගෙ පැරදුනා.

Sunday, August 11, 2013

හිනාවෙන්න දන්නෙ නැතෝ !!!

               


 මගේ වටේ මිනිස්සු දකින දකින වෙලාවට විරිත්තගෙන ඉන්නවා දැකීම තරම් සතුටක් මට තවත් නැහැ. 
               කණ්නාඩියෙන් කොන්ඩෙ පීරල ඒක ඇතුලෙ ඉන්න මනුස්සයාට ඇහැක් ගහන්න, උදේ පාන්දර හම්බවෙන මනුස්සයාට සැලුට් එකක් දාන්න (කොච්චි හෝල්ට් ඕනෙ නෑ) දවස බ්‍රයිට් වෙනවා නියතයි.
                 තමන් ආදරය කරන වැඩක් කරන්න‍; තමන් කරන වැඩේට ආදරය කරන්න. ඔබ දෙයකට හදවතින් ආදරය කරන්නෙ නැත්නම් ඒ දේ අල්ලන්නවත් එපා. මේක ආදරය කරන හැම දේකට ම අදාලයි. එහෙම උනාම රස්සාවට ගිහිල්ලා යාන්තම් දවස තලාගෙන ඉන්ටවල් එකට ගෙදර යන්න ඕනෙ නෑ. පංතියේ දේශන එපා වෙන්නෙ නෑ. විභාගය ඊරි යකෙක් වෙන්නෙ නෑ.
                   ඇත්තට ම ජීවිතය සුන්දරයි. ඒක බොරු වෙන්නෙ නෑ.

Wednesday, May 8, 2013

ආදරය ..........ගමන ම ය.



සැනසුමක් කොයි කොතැන 
නැවතුමක් නැති තැනක 
නැවතුමක් කොයි කොතැන 
ආදරය ගමන ම ය. 

ඔබ තැනක නැවතිලා 
ඔබට යලි එන්න බෑ 
ඔබේ ළඟ නැවතිලා 
මට යලිත් හැරෙනු බෑ. 

ඔබේ නැවතුම ළඟින් ඔබෙ  
ගමන අරඹනු මැනේ 
මගේ නැවතුම ළඟින් මා 
ගමන නිම කරන්නේ. 

සැනසුමක් කොයි කොතැන  
නැවතුමක් නැති තැනක 
නැවතුමක් කොයි කොතැන 
ආදරය .............ගමන ම ය. 

Wednesday, March 13, 2013

මං තාම එතන ම ලු.

       


             ඕලෙවල් යන්තමින් ගොඩදාගත්තු ගමේ කොල්ලො මෝටසයිකලෙන් රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. මගේ ඥාති කොල්ලො කෙල්ලො වැඩ කරන්නෙ බැංකුවල ලු; ලෝන් ගන්න ලේසි ඇති ලු. මං තාම එතන ම ලු. එහා ගෙදර කොල්ලා උල් සපත්තු ටයි දාගෙන රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. අනිත් උන් වගේ තට්ටු දෙකේ ගෙයක් මං කවදා හදයිදෝ ලු. මං තාම එතන ම ලු. අර වාගේ කාර් එකක් මං කවදා ගනියිදෝ ලු. මං තාම එතන ම ලු. අච්චර මැටිමෝල් යක්කු මටත් වඩා ඉහළ යද්දි මෙච්චර ඉගෙන ගත්තු..... මං තාම එතන ම ලු.

Friday, February 1, 2013

මිනිසුන්ට ඇබ්බැහි වූයෙමි.

              මීට අවුරුදු හයකට පෙර මා මේ සිටින තැන සිටින්නට සීනෙකුදු නොසිතුවෙමි. නොමේරූ යෞවනයෙකුගේ සිහින වලට බැනවැදීම සාධාරණ නොවූවත් මා ඒ සිහින දෙස බලනුයේ උපහාසයෙනි.මා ද සමහර කවියන් මෙන් මනෝරාජික මානවවාදියෙක් ව සිටියෙමි; නමුත් මගේ සිහින සියල්ල පුපුරා ගොස් මා ඇද වැටුනේ ඒ මිනිසුන් මැද්දට ම ය. ඒ ජීවිතයේ මුල් පියවර කිහිපය තුල මා අපේක්ෂා භංගත්වයට පත්වූවත් පසුව ඒ සියල්ලට ම ආදරය කරන්නට මා පුරුදු වූයෙමි.
              ඒ මිනිසුන්ගේ වචන මා කෑදර කමින් ගිල දැමුවෙමි. සමහර වචන මගේ ජීවිතයේ ආදර්ශ පාඨ වන්නට පටන් ගති. මා ලියන හැම වචනයක ම ඔවුන්ගේ සුවඳ මුහුවන්නට පටන් ගති. ඔවුන් මා සිටින කවුළු වැසූ අඳුරු කාමරයෙන් මා අල්ලා පයින් පාරක් ගසා හිරු එළිය ගලන මිටියාවතට තල්ලුකර දමා මා වටා අත් අල්ලා ගී ගයන්නට පටන් ගති. දැන් කවරදාටත් වඩා මං ජීවිතයට ආදරය කරමි; ඒ මිනිසුන්ට ආදරය කරමි; මා සැබවින් ම ඔවුන්ට ඇබ්බැහි වූයෙමි.

 

Monday, December 17, 2012

මේ ලෝකයෙන් වෙන් ව මේ සසර නිමකරම්



















නිල්අහස සාගරය නොපෙනෙන්න වෙන්වෙලා
රජකරපු හිරු කුමරු සිහසුනද හැරගියා
ඈත දියඹට ගිහින් නැව් කඳක් තනිවෙලා
කොළඹ හුළඟට මගේ කටු ඔටුනු විසිකලා.

රළ පෙලක් පිටු පසින් රළ පෙලක් නැඟෙන්නේ 
මේකුලක් පිටුපසින් මේකුලක් සරන්නේ
ලිහිණියෙක් පිටුපසින් ලිහිණියෙක් සරන්නේ
අද මගේ පිටුපසින් ඔබව නැහැ පෙ‍නෙන්නේ.

මීවිතින් මත්නොවී මගේ නෙත් නිරුවතින්
පහන් කණුවක් දිලෙයි ගණදුරට පෙම්කරන්
කදෝපැණි එලියකට කසුන් හිරුරැස් කියන්
මේ ලෝකයෙන් වෙන් ව මේ සසර නිමකරම්. 

Wednesday, October 3, 2012

වසන්තය තව නැතී















ඔබව නො‍පෙනෙන්න මා නෙතු පියා ගන්නද?
ඒත් ඔබ පෙනෙනවා මාව අඬවන්නද?
ඔබ ඔබේ මඟ අතැර මගෙ ම‍‍ඟේ යන්නද?
ඒත් ඔබ මා ළඟින් ඔබව එලවන්නද?

ජීවිතේ මෙතෙක් දුර පැමිනියේ ඔබ නිසා
අරමුණක් ගැන නොදැන ම'සිත වල්මත් වෙලා
ඔබෙ මතක රැඳුණු තැන් ඉවත විසි කොට දමා
ඈත යන්නේ කෙලෙස ජීවිතය හිස් වෙලා

තරු කඩා වැටුනාට සඳට තනියක් නැතී
සමනලුන් නැති මලට බඹරු අඩුවක් නැතී
මං නොමැති ජීවිතේ ඔබට තනියක් නැතී
විකල් කොවුලන් හඬති වසන්තය තව නැතී