රාත්‍රිය මං උඹට ආදරය කරනවා
අහස් තරු පොලෝ මත
හිතුමතේ පාවෙනා
නෑ කණාමැදිරියෝ,
පුංචි අත් පොකුරු කර
දුව දුවා අල්ලාපු
පුංචි කණාමැදිරියෝ
නිවි නිවී හිනැහෙනා.
පොලෝ මත ඉහිරිලා
නෙක රටා මව මවා
පුංචි සේපාලිකා
රළු බොරළු මාවතේ
පාවාඩ එලනවා.
සඳවතිය තුරුහිසින්
මිහිරි රස පෙරනවා
මම යන්නෙ කොහෙද ඈ
මා ළඟින් ඉන්නවා.
හීල් සුළඟක් ඇවිත්
මාව කිතිකවනවා
විහිළුවට තුරුමඬුලු
සමඟ පොර බඳිනවා.
නින්ද නැති මැඬියෝ ද
දියකඩේ රැස්කකා
එකිනෙකා පරයාන
තර්කයන් කරනවා
‘මොන තරුව වැඩි රුවැති‘
තම මතය පහදනා.
නුඔ යන්නෙ කොහෙද
මේ රාත්‍රිය නොඅසනා
නුඔ ඉන්නෙ කොහිද නුඹ
කොයි කවුද නොඅසනා
කිසි දෙයක් නොපතා ම
ආදරය පුදදෙනා.
මුළු ලොව ම නිදන රෑ
මං තාම ඇහැරිලා
හෙට යලිත් නැඟිටින්න
නින්ද තව හොයනවා
මගේ සුව නින්ද මේ
රාත්‍රිය අහුරනා
රාත්‍රිය මං උඹට
ආදරය කරනවා.
No comments:
Post a Comment
මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.