Monday, April 16, 2012
මගේ පුංචි සුරංගනාවී
දඟකාර ඔබේ කෙහෙමඬල මා සිඹිනවා
සිහින් හිරු කෙඳි ඇවිත් මාව ඇහැරවනවා
කවුළුවෙන් එන සුළඟ මගේ නෙතු පියවලා
දෝත පුරවා ගෙනත් බිංදු පිනි ඉහිනවා
ආදරය කියන්නේ මේකදෝ
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී
හිසපුරා රිදීසුණු මල් වැස්ස හැලෙනවා
දෑත වත විදාගෙන මං ඔහේ තෙමෙනවා
තියන තියනා පයට වලා පාවඩ එලා
අනන්තය සොයාගෙන අයාලේ ඉගිලෙනා
ආදරය කියන්නේ මේකදෝ
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී
ඔබව සිහිවී තනිව සිනාසෙන මා දිහා
ළඳුන් හිනැහී බලයි මට උමතු දැයි කියා
අත් පොඩිති වන වනා සිඟිති කිරි සිනා පා
නාඳුනන පොඩිත්තෙක් මවෙත සමු දී ගියා
ආදරය කියන්නේ මේකදෝ
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී
Tuesday, April 10, 2012
ඇත්තට ම ජීවිතය සුන්දරද මේ තරම් (මතු යම් දවසක විඳිනු පිනිස....)
මේ පොලොව තෙත්කරමි ලේ කඳුළු දහඩියෙන්
තෙරක් නැති කම්කටොලු පිලිගනිමි සිනහවෙන්
ජීවිතය හැර නොයමි සොඳුරියේ නුඹ නමින්
නළලතේ දෙතොල් පෙති තිලක රූ අඳින්නී
හදවතේ සෙනෙහසේ ගී කුරුටු ගාන්නී
නුඹ උකුල සිරියහන හිස හොවාගෙන ඉමී
මෙරක් බර ගැටලු පොදි සුළඟෙ පා කරනෙමී
මගේ ලෝකෙට එළිය සතුට සිනහව අරන්
කොහේ සිට ආවාද මිහිරියේ මට කියන්
මේ විඳින සියලු දෙය සිහිනයක් නොවේ නම්
ඇත්තට ම ජීවිතය සුන්දර ද මේ තරම්
Tuesday, April 3, 2012
ජීවිතයේ එක යුගයක
මා හා හැඬුව සිනාසුන එකට
ඒ මිනිසුන් නෑ අද ..................කොහේ ගිහින්.
ඒ මිනිසුන් නෑ අද
කොහේ ගිහින්.
ආදරයෙන් සිත සුරකින
හා වී ජීවිතයට ජීවත් වෙන
ඒ මතකය .......අමතක......... වෙලා ඇතී.
ඒ මතකය
අමතක
වෙලා ඇතී.
අනාගතේ මතු දිනයක
මේසා විසල් ලොවක් මැද හමුවන
ඒ මොහොතේ ...... ඔබ ..... මා ..... දකිනු ඇතී.
ඒ මොහොතේ
ඔබ
මා
දකිනු ඇතී.
Friday, March 9, 2012
Monday, March 5, 2012
පොත්ගුල්ලා මං
හතර අතේ හරව හරව
පාර දිගේ එමින් ගමන්
ඒකෙ උන්නු සීනි සීය
බෝතලේට පැන්න ගමන්
හිමීට දිගහැර කියෝපු
පොත් ගුල්ලා මං.
බතපත දිගහැර ලිපි කන
අත වේලෙනකං ලිපි කන
අනිත් උන්ට කන්න නොදී
උන්ගෙ බත් පතෙත් ලිපි කන
පොත් ගුල්ලා මං.
අහල ගන්න බ්‍රේක් නැතිව
අනුන්ගෙ පොත් හොරෙන් ම කන
එහෙම කාල අතුරුපසට
උන්ගෙන් ටොකු හොඳට කාපු
පොත් ගුල්ලා මං.
පොත් සාප්පුවලට ගිහින්
පොත් දහයක් තුරුලු කරන්
එලෝනකං පොත් කියෝන
පොකට්ටුවේ බර සින්දා
දහයට එකකින් තුටුවෙන
පොත් ගුල්ලා මං.
ගත් පඩියෙන් බඩට නොකන
පරණ ඩෙනිම පට්ට ගහන
ඇඟ බිල්ඩින් ගැන නොහිතා
ඔළු බිල්ඩින් ගැන තැවෙනා
ගෙදර පතල කාබාසිනි
පොත් ගුල්ලා මං.
අතේ පිච්චියක් නැතිකොට
උකසට රන්ලණු නැතිකොට
තියෙන එකම වස්තුව වෙන
පොත්ටික කද බැඳ ගෙනිහින්
සරසවි පාරේ විකුණන
ලොව ම ඉන්න කාලකන්නි
පොත් ගුල්ලා මං.
Tuesday, February 28, 2012
මගේ ජීවන වෘත්තිය තරම් වෙන කිසිම දෙයකට මා මේ තරම් අවලාද අසා නොමැත. මගේ නෑයන්ට එය අවමානයක් ද මගේ පවුලේ අයට එය අගෞරවයක් ද විය. නමුත් මා, මා සමඟ සාමයෙන් පසු වූයෙමි. කිමද යත් මා ආශා කළ ජීවිතය මා මේ මොහොතේ ගත කරන බැවිනි.
ගෙලට සිර වූ ටයි පටි ද කදිමට යට කළ දිග අත් කමිස ද දිලිසෙන සපත්තු තුල ද මගේ ආත්මය සිරකිරීමට මා අකමැති වීමි. මට නිදහස් මිනිසෙකු වීමට අවශ්‍ය විනි. මගේ ජීවන සුවඳට මිනිසුන්ගේ දහඩිය සුවඳ මුසු වීම අපේක්ෂා කලෙමි. මා ප්‍රාර්ථනා කල සියලු දේවල් ජීවිතය විසින් මා හට ලබා දී ඇත.මා පෙර ආත්මයක් හෝ මතු ජීවිතයක් විශ්වාස නොකරන්නෙක්මි. මිනිසෙකුට ජීවිතය ලැබෙන්නේ එක වරක් පමනි. මා අත්ල මතුයෙහි ඇත්තේ එය ය. එය මා කැමති ලෙස ගෙවාදමමි. අනික් මිනිසුන්ට බියෙන් ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් දිවි ගෙවීමට මා සූදානම් නොමැත. මගේ ජීවිතයට ඇඟිලි ගසන්නන්ට කීමට ඇත්තේ යකාට පලච්චාවෙ!!!
Thursday, February 23, 2012
රාත්‍රිය මං උඹට ආදරය කරනවා
අහස් තරු පොලෝ මත
හිතුමතේ පාවෙනා
නෑ කණාමැදිරියෝ,
පුංචි අත් පොකුරු කර
දුව දුවා අල්ලාපු
පුංචි කණාමැදිරියෝ
නිවි නිවී හිනැහෙනා.
පොලෝ මත ඉහිරිලා
නෙක රටා මව මවා
පුංචි සේපාලිකා
රළු බොරළු මාවතේ
පාවාඩ එලනවා.
සඳවතිය තුරුහිසින්
මිහිරි රස පෙරනවා
මම යන්නෙ කොහෙද ඈ
මා ළඟින් ඉන්නවා.
හීල් සුළඟක් ඇවිත්
මාව කිතිකවනවා
විහිළුවට තුරුමඬුලු
සමඟ පොර බඳිනවා.
නින්ද නැති මැඬියෝ ද
දියකඩේ රැස්කකා
එකිනෙකා පරයාන
තර්කයන් කරනවා
‘මොන තරුව වැඩි රුවැති‘
තම මතය පහදනා.
නුඔ යන්නෙ කොහෙද
මේ රාත්‍රිය නොඅසනා
නුඔ ඉන්නෙ කොහිද නුඹ
කොයි කවුද නොඅසනා
කිසි දෙයක් නොපතා ම
ආදරය පුදදෙනා.
මුළු ලොව ම නිදන රෑ
මං තාම ඇහැරිලා
හෙට යලිත් නැඟිටින්න
නින්ද තව හොයනවා
මගේ සුව නින්ද මේ
රාත්‍රිය අහුරනා
රාත්‍රිය මං උඹට
ආදරය කරනවා.
Tuesday, February 21, 2012
සමනලයෙක්ගේ මරණය
සමනලයෙක් මැරුණාට
පොළොව හෙල්ලෙන්නෙ නෑ.
මහ එකෙක් නොපාගා
උඩින් යනවා ඇරෙන්න;
පොඩි එකෙක්
කොස් කොලෙන්
ඌව අරගෙන ඇවිත්
මහ පොළොවෙ වළලලා
වල උඩින් වද මලක්
තියා අඬනවා ඇරෙන්න;
පැපරාසියෙක් විත්
තැළුණු පිහාටු ලංකර
දුක හිතෙන ෆොටෝ එකක්
අරගෙන යනවා ඇරෙන්න;
බිඳුණු සිතැති කවියෙක්
ඌ වෙනුවෙන් කවක්
ලියල දානවා ඇරෙන්න;
වෙන මුකුත් වෙන්නෙ නෑ.
Subscribe to:
Posts (Atom)