Tuesday, April 24, 2012

හොයාගෙන අහන්න



                     Il Divo යනු සංගීත කලමනාකරුවෙකු හා රියැලිටි ටීවී විනිසුරුවරයෙකු වන Simon Cowell විසින් 2004 දී ගොඩනඟන ලද Sebastian Iazambard, Carlos Marin, David Miller හා Urs Buhler යන ගායකයන්ගෙන් සැදුම්ලත් ඔපෙරාරූපී පොප් ගායක කන්ඩායමකි. මාහට අහම්බෙන් අසන්නට ලැබුණු Regresa A Mi ( Unbreak My Heart ...) යන මේ ගීතයේ භාෂාව නොතේරුනද ඇසූ දා සිට මේ දක්වා මෙම ගීතය සියක් වාරයක් රසවිඳ ඇත්තෙමි.

හිඟන්නා ගයන්නේ බඩිනි, බොරුකාරයා ගයන්නේ උගුරිනි, නියම සංගීතවේදියා ගයන්නේ හදවතිනි. නමුදු මුළු සිරුරින් ම ගයන ගායකයෙකු මේ තරම් ලංව මා දැක නොතිබිනි.

නියම ගායනය යනු කුමක්ද? ඔබට පිළිතුරක් ලැබේවි ...


  



Friday, April 20, 2012

හොයාගෙන බලන්න

                මිලියනපති Edward Cole හා වැඩකරන පන්තියේ මිකැනික්වරයෙකු වන Cater Chamber අතර කිසිදු සමානකමක් දක්නට නොමැත, නමුදු ඔවුන්ගේ පෙනහළු පිලිකා හැර ය. ඔවුන්ගේ ජීවන මංසලේදී එකම රෝහල් කාමරයක් හවුලේ බෙදාගන්නා අතර ජීවිතය ගැන පසුතැවීම අතහැර දමා ජීවිතයේ කිරීමට කැමති වූ කිරීමට නොහැකි වූ සියලු දේවල් කිරීමට ගිවිස ගනිති. ඒ ඔවුන් "වල කජ්ජ ගැසීමට" පෙරය (before they "kick the bucket"). ඔවුන් දෙදෙනා ම එකතු වී "වැඩ ලැයිස්තුවක්" ("bucket list") සාදන අතර ඒ ලැයිස්තුව අනුව ජීවිතය සොයායාමේ වික්‍රමාන්විත චාරිකාවට සම්ප්‍රාප්ත වෙති. මේ ගමනේ දී ඔවුන් ජීවිතයේ සැබෑ අරුත, සුන්දරත්වය හා සතුට වටහා ගනිති.


"You only live once, so why not die with style?"

Monday, April 16, 2012

මගේ පුංචි සුරංගනාවී













දඟකාර ඔබේ කෙහෙමඬල මා සිඹිනවා 
සිහින් හිරු කෙඳි ඇවිත් මාව ඇහැරවනවා 
කවුළුවෙන් එන සුළඟ මගේ නෙතු පියවලා 
දෝත පුරවා ගෙනත් බිංදු පිනි ඉහිනවා 
ආදරය කියන්නේ මේකදෝ 
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ 
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී 


හිසපුරා රිදීසුණු මල් වැස්ස හැලෙනවා 
දෑත වත විදාගෙන මං ඔහේ තෙමෙනවා 
තියන තියනා පයට වලා පාවඩ එලා
අනන්තය සොයාගෙන අයාලේ ඉගිලෙනා
ආදරය කියන්නේ මේකදෝ 
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ 
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී 


ඔබව සිහිවී තනිව සිනාසෙන මා දිහා 
ළඳුන් හිනැහී බලයි මට උමතු දැයි කියා 
අත් පොඩිති වන වනා සිඟිති කිරි සිනා පා 
නාඳුනන පොඩිත්තෙක් මවෙත සමු දී ගියා 
ආදරය කියන්නේ මේකදෝ 
ජීවිතය දැනෙන්නේ මෙහෙමදෝ 
කියාදෙන්න මගේ පුංචි සුරංගනාවී

Tuesday, April 10, 2012

ඇත්තට ම ජීවිතය සුන්දරද මේ තරම් (මතු යම් දවසක විඳිනු පිනිස....)













අපේ ලොව සරසන්න සත්පාට මීදුමෙන්
මේ පොලොව තෙත්කරමි ලේ කඳුළු දහඩියෙන්
තෙරක් නැති කම්කටොලු පිලිගනිමි සිනහවෙන්
ජීවිතය හැර නොයමි සොඳුරියේ නුඹ නමින්

නළලතේ දෙතොල් පෙති තිලක රූ අඳින්නී
හදවතේ සෙනෙහසේ ගී කුරුටු ගාන්නී
නුඹ උකුල සිරියහන හිස හොවාගෙන ඉමී
මෙරක් බර ගැටලු පොදි සුළඟෙ පා කරනෙමී

මගේ ලෝකෙට එළිය සතුට සිනහව අරන්
කොහේ සිට ආවාද මිහිරියේ මට කියන්
මේ විඳින සියලු දෙය සිහිනයක් නොවේ නම්
ඇත්තට ම ජීවිතය සුන්දර ද මේ තරම්

Tuesday, April 3, 2012















ජීවිතයේ එක යුගයක
මා හා හැඬුව සිනාසුන එකට 
ඒ මිනිසුන් නෑ අද ..................කොහේ ගිහින්.
ඒ මිනිසුන් නෑ අද 
කොහේ ගිහින්. 


ආදරයෙන් සිත සුරකින 
හා වී ජීවිතයට ජීවත් වෙන 
ඒ මතකය .......අමතක......... වෙලා ඇතී. 
ඒ මතකය 
අමතක 
වෙලා ඇතී. 

අනාගතේ මතු දිනයක 
මේසා විසල් ලොවක් මැද හමුවන 
ඒ මොහොතේ ...... ඔබ  ..... මා ..... දකිනු ඇතී. 
ඒ මොහොතේ 
ඔබ 
මා 
දකිනු ඇතී.

Friday, March 9, 2012



ලොව මිහිරි සිරි දකින
නෙතට නෙත ඔබෙ නෙතයි.
මගෙ සිතේ කවි උලට
කවිය නුඹ උල්පතයි. 

දඟමල්ල නුඹ ඇවිත් 
හිත පුරා දුවනවා. 
උමතුවෙන් සිනාසෙමි
පිස්සියේ නුඹ නිසා. 

ජීවිතය හොයාගෙන 
නැවතුනේ නුඹ ළඟයි. 
දෝත පිරි ආදරය 
පැංචියේ නුඹටමයි. 

Monday, March 5, 2012

පොත්ගුල්ලා මං 



කඩෙන් ගේන සීනි ගොට්ට
හතර අතේ හරව හරව
පාර දිගේ එමින් ගමන්
ඒකෙ උන්නු සීනි සීය
බෝතලේට පැන්න ගමන්
හිමීට දිගහැර කියෝපු
පොත් ගුල්ලා මං.

බතපත දිගහැර ලිපි කන
අත වේලෙනකං ලිපි කන
අනිත් උන්ට කන්න නොදී
උන්ගෙ බත් පතෙත් ලිපි කන
පොත් ගුල්ලා මං.

අහල ගන්න බ්‍රේක් නැතිව
අනුන්ගෙ පොත් හොරෙන් ම කන
එහෙම කාල අතුරුපසට
උන්ගෙන් ටොකු හොඳට කාපු
පොත් ගුල්ලා මං.

පොත් සාප්පුවලට ගිහින්
පොත් දහයක් තුරුලු කරන්
එලෝනකං පොත් කියෝන‍
පොකට්ටුවේ බර සින්දා
දහයට එකකින් තුටුවෙන
පොත් ගුල්ලා මං.

ගත් පඩියෙන් බඩට නොකන
පරණ ඩෙනිම පට්ට ගහන
ඇඟ බිල්ඩින් ගැන නොහිතා
ඔළු බිල්ඩින් ගැන තැවෙනා
ගෙදර පතල කාබාසිනි
පොත් ගුල්ලා මං.

අතේ පිච්චියක් නැතිකොට
උකසට රන්ලණු නැතිකොට
තියෙන එකම වස්තුව වෙන
පොත්ටික කද බැඳ ගෙනිහින්
සරසවි පාරේ විකුණන
ලොව ම ඉන්න කාලකන්නි
පොත් ගුල්ලා මං.

Tuesday, February 28, 2012

                මගේ ජීවන වෘත්තිය තරම් වෙන කිසිම දෙයකට මා මේ තරම් අවලාද අසා නොමැත. මගේ නෑයන්ට එය අවමානයක් ද මගේ පවුලේ අයට එය අගෞරවයක් ද විය. නමුත් මා, මා සමඟ සාමයෙන් පසු වූයෙමි. කිමද යත් මා ආශා කළ ජීවිතය මා මේ මොහොතේ ගත කරන බැවිනි.
               ගෙලට සිර වූ ටයි පටි ද කදිමට යට කළ දිග අත් කමිස ද දිලිසෙන සපත්තු තුල ද මගේ ආත්මය සිරකිරීමට මා අකමැති වීමි. මට නිදහස් මිනිසෙකු වීමට අවශ්‍ය විනි. මගේ ජීවන සුවඳට මිනිසුන්ගේ දහඩිය සුවඳ මුසු වීම අපේක්ෂා කලෙමි. මා ප්‍රාර්ථනා කල සියලු දේවල් ජීවිතය විසින් මා හට ලබා දී ඇත.
                මා පෙර ආත්මයක් හෝ මතු ජීවිතයක් විශ්වාස නොකරන්නෙක්මි. මිනිසෙකුට ජීවිතය ලැබෙන්නේ එක වරක් පමනි. මා අත්ල මතුයෙහි ඇත්තේ එය ය. එය මා කැමති ලෙස ගෙවාදමමි. අනික් මිනිසුන්ට බියෙන් ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් දිවි ගෙවීමට මා සූදානම් නොමැත. මගේ ජීවිතයට ඇඟිලි ගසන්නන්ට කීමට ඇත්තේ යකාට පලච්චාවෙ!!!

Thursday, February 23, 2012

රාත්‍රිය මං උඹට ආදරය කරනවා



















අහස් තරු පොලෝ මත
හිතුමතේ පාවෙනා
නෑ කණාමැදිරියෝ,
පුංචි අත් පොකුරු කර
දුව දුවා අල්ලාපු
පුංචි කණාමැදිරියෝ
නිවි නිවී හිනැහෙනා.

පොලෝ මත ඉහිරිලා
නෙක රටා මව මවා
පුංචි සේපාලිකා
රළු බොරළු මාවතේ
පාවාඩ එලනවා.

සඳවතිය තුරුහිසින්
මිහිරි රස පෙරනවා
මම යන්නෙ කොහෙද ඈ
මා ළඟින් ඉන්නවා.

හීල් සුළඟක් ඇවිත්
මාව කිතිකවනවා
විහිළුවට තුරුමඬුලු
සමඟ පොර බඳිනවා.

නින්ද නැති මැඬියෝ ද
දියකඩේ රැස්කකා
එකිනෙකා පරයාන
තර්කයන් කරනවා
‘මොන තරුව වැඩි රුවැති‘
තම මතය පහදනා.

නුඔ යන්නෙ කොහෙද
මේ රාත්‍රිය නොඅසනා
නුඔ ඉන්නෙ කොහිද නුඹ
කොයි කවුද නොඅසනා
කිසි දෙයක් නොපතා ම
ආදරය පුදදෙනා.

මුළු ලොව ම නිදන රෑ
මං තාම ඇහැරිලා
හෙට යලිත් නැඟිටින්න
නින්ද තව හොයනවා
මගේ සුව නින්ද මේ
රාත්‍රිය අහුරනා
රාත්‍රිය මං උඹට
ආදරය කරනවා.

Tuesday, February 21, 2012

සුන්දරත්වය







ඔබ තරම් මෙලොව කිසිවක්
ඒ තරමට සුන්දර නැත
මෙලොව සියලු සුන්දරත්වය
ඔබෙන් පමණක් දකිමි මම.