Wednesday, March 13, 2013
මං තාම එතන ම ලු.
ඕලෙවල් යන්තමින් ගොඩදාගත්තු ගමේ කොල්ලො මෝටසයිකලෙන් රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. මගේ ඥාති කොල්ලො කෙල්ලො වැඩ කරන්නෙ බැංකුවල ලු; ලෝන් ගන්න ලේසි ඇති ලු. මං තාම එතන ම ලු. එහා ගෙදර කොල්ලා උල් සපත්තු ටයි දාගෙන රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. අනිත් උන් වගේ තට්ටු දෙකේ ගෙයක් මං කවදා හදයිදෝ ලු. මං තාම එතන ම ලු. අර වාගේ කාර් එකක් මං කවදා ගනියිදෝ ලු. මං තාම එතන ම ලු. අච්චර මැටිමෝල් යක්කු මටත් වඩා ඉහළ යද්දි මෙච්චර ඉගෙන ගත්තු..... මං තාම එතන ම ලු.
Friday, February 1, 2013
මිනිසුන්ට ඇබ්බැහි වූයෙමි.
මීට අවුරුදු හයකට පෙර මා මේ සිටින තැන සිටින්නට සීනෙකුදු නොසිතුවෙමි. නොමේරූ යෞවනයෙකුගේ සිහින වලට බැනවැදීම සාධාරණ නොවූවත් මා ඒ සිහින දෙස බලනුයේ උපහාසයෙනි.මා ද සමහර කවියන් මෙන් මනෝරාජික මානවවාදියෙක් ව සිටියෙමි; නමුත් මගේ සිහින සියල්ල පුපුරා ගොස් මා ඇද වැටුනේ ඒ මිනිසුන් මැද්දට ම ය. ඒ ජීවිතයේ මුල් පියවර කිහිපය තුල මා අපේක්ෂා භංගත්වයට පත්වූවත් පසුව ඒ සියල්ලට ම ආදරය කරන්නට මා පුරුදු වූයෙමි.
ඒ මිනිසුන්ගේ වචන මා කෑදර කමින් ගිල දැමුවෙමි. සමහර වචන මගේ ජීවිතයේ ආදර්ශ පාඨ වන්නට පටන් ගති. මා ලියන හැම වචනයක ම ඔවුන්ගේ සුවඳ මුහුවන්නට පටන් ගති. ඔවුන් මා සිටින කවුළු වැසූ අඳුරු කාමරයෙන් මා අල්ලා පයින් පාරක් ගසා හිරු එළිය ගලන මිටියාවතට තල්ලුකර දමා මා වටා අත් අල්ලා ගී ගයන්නට පටන් ගති. දැන් කවරදාටත් වඩා මං ජීවිතයට ආදරය කරමි; ඒ මිනිසුන්ට ආදරය කරමි; මා සැබවින් ම ඔවුන්ට ඇබ්බැහි වූයෙමි.
Monday, December 17, 2012
මේ ලෝකයෙන් වෙන් ව මේ සසර නිමකරම්
නිල්අහස සාගරය නොපෙනෙන්න වෙන්වෙලා
රජකරපු හිරු කුමරු සිහසුනද හැරගියා
ඈත දියඹට ගිහින් නැව් කඳක් තනිවෙලා
කොළඹ හුළඟට මගේ කටු ඔටුනු විසිකලා.
රළ පෙලක් පිටු පසින් රළ පෙලක් නැඟෙන්නේ
මේකුලක් පිටුපසින් මේකුලක් සරන්නේ
ලිහිණියෙක් පිටුපසින් ලිහිණියෙක් සරන්නේ
අද මගේ පිටුපසින් ඔබව නැහැ පෙනෙන්නේ.
මීවිතින් මත්නොවී මගේ නෙත් නිරුවතින්
පහන් කණුවක් දිලෙයි ගණදුරට පෙම්කරන්
කදෝපැණි එලියකට කසුන් හිරුරැස් කියන්
මේ ලෝකයෙන් වෙන් ව මේ සසර නිමකරම්.
Wednesday, October 3, 2012
වසන්තය තව නැතී
ඔබව නොපෙනෙන්න මා නෙතු පියා ගන්නද?
ඒත් ඔබ පෙනෙනවා මාව අඬවන්නද?
ඔබ ඔබේ මඟ අතැර මගෙ මඟේ යන්නද?
ඒත් ඔබ මා ළඟින් ඔබව එලවන්නද?
ජීවිතේ මෙතෙක් දුර පැමිනියේ ඔබ නිසා
අරමුණක් ගැන නොදැන ම'සිත වල්මත් වෙලා
ඔබෙ මතක රැඳුණු තැන් ඉවත විසි කොට දමා
ඈත යන්නේ කෙලෙස ජීවිතය හිස් වෙලා
තරු කඩා වැටුනාට සඳට තනියක් නැතී
සමනලුන් නැති මලට බඹරු අඩුවක් නැතී
මං නොමැති ජීවිතේ ඔබට තනියක් නැතී
විකල් කොවුලන් හඬති වසන්තය තව නැතී
Sunday, August 12, 2012
මගේ කවිය හා ඇගේ කවිය (කවි ලියන සොඳුරු හිත නපුරුයි ද ඔය තරම් )
ඔය ගැඹුරු නෙත් දෙකේ මගෙ රුව ම පෙනෙනකං
ඔබෙ සුසුම් රැල් වැදී මගේ මුව තෙමෙනකං
රත්තරං පපුතුරෙහි මොහොතකට හිස හොවන්
ආදරය විඳින්නට අවසරද මට කියන්
ඔය සුරතෙ එල්ලිලා ළදැරියක් වාගෙ මං
දුර අහසෙ ඉගිලෙමී කිරිලියක වෙස් අරං
ඒ හීනෙ මට දෙන්න ලෝබ වෙන්නට තරම්
කවි ලියන සොඳුරු හිත නපුරුයි ද ඔය තරම්
රටා ඇඳි සුදෝ සුදු හද මළුව හැඩිකරං
පෙර තැබූ පා කැලලි අමතකව යන තරම්
පුන් පෝයදා අහසෙ නැඟුණු සඳවත ලෙසින්
ඔබෙ ලොවට එළිය දෙමි පිලිගන්න මා ඉතින්
Monday, July 30, 2012
හොයාගෙන බලන්න (4) - Braveheart
"They may take our lives, but they'll never take our freedom!"
(සත්‍ය ඓතිහාසික කථාන්දරයක් ඇසුරෙනි.)
"William Wallace" ස්කොට්ලන්තය යටත් කරගෙන සිටි කෘර පාලක 'Longshanks' ගේ පාලනයට විරුද්ධව විප්ලවකාරී කැරලි දියත් කල අයෙකි. තම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඉංග්‍රීසි හමුදාවන්ට එරෙහිව සටන්කල ඔහුගේ පියා හා සොහොයුරා කුඩා කාලයේදී ම ඔහුට අහිමි වෙයි. නමුත් ඔහුගේ ආදරියද ඔහුට අහිමි වීමෙන් නෙත් හැරුණු William Wallace ස්කොට්ලන්තය නිදහස් කරගැනීමේ සටන, ඔටුන්න හිමි කුමරා වන "Robert the Bruce" සමඟ දියත් කරයි.මෙම සටනේ තීරනාත්මක මොහොතේදී එංගලන්ත රජුගේ වරප්‍රසාද වලට ලොල්වන ස්කොට්ලන්ත රදළයන්ගේ සහාය නොලැබී යන අතර Robert ගේ පියාගේ හා රදළයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් Wallace අල්ලා එංගලන්තයට භාර දෙනු ලබයි.
Wallace ලන්ඩන් අධිකරණයට පමුණුවන අතර ඔහුට පවසන්නේ තමා එංගලන්ත රජුට ද්‍රෝහි වූ බවත් ඒ පිලිබඳව සමාව අයැද සිටියහොත් ඔහුට ඉක්මන්,පහසු මරණයක් හිමිකර දෙන බවයි. සමාව අයැදීම ප්‍රතික්ෂේප කරන Wallace ගේ අතුනුබහන්(බඩවැල්) එලියට ඇද දමද්දීත්, රාජ්‍ය ද්‍රෝහියාගේ සමාව අයැදීමේ වේදනාත්මක කෙඳිරිල්ල ඇසීමට පැමිණි ජනයාට සහ පණ අදිමින් සිටින Longshanks ට ඇසෙන්නේ එකම වදනකි;
Monday, July 16, 2012
හිත තවම හයියයි මගේ
ජීවිතය සොඳුරුයි කියා
ලියූ කවි පද පිටු පුරා
මැකී යන්නට දෙන්නෙ නෑ
හිත තවම හයියයි මගේ
දිනෙක ඔබ ඒ යැයි කියා
පැතූ පැතුමන් හිතපුරා
බොඳව යන්නට දෙන්නෙ නෑ
හිත තවම හයියයි මගේ
වසන්තය ඒ යැයි කියා
ඇස් රිදෙන කල් බලා හිටියා
පයක් පස්සට ගන්නෙ නෑ
හිත තවම හයියයි මගේ
Sunday, July 1, 2012
හොයාගෙන බලන්න (3) - The Terminal
John F. Kennedy ගුවන් තොටුපලට ගොඩබසින Viktor Novorski ගේ ගුවන් බලපත්‍රය වලංගු නොවන බව හදිසියේ ම පරිඝණකය මඟින් හඳුනා ගැනෙයි. මේ හේතුවෙන් ඇමෙරිකාවට ඇතුළුවීමට අවසර නැතිබව ගුවන්තොටුපල බලධාරීන් ඔහුට දන්වා සිටියි. ඔහු ගුවනින් පැමිණෙන අතරතුර ඔහුගේ මවුබිම වන Krakozhia වෙහි (මන:කල්පිත රටකි) විප්ලවකාරී ක්‍රියා හේතුවෙන් සිවිල් යුද වාතාවරණයක් මතුවී තිබේ. මෙම තත්වය මත ඇමෙරිකාව තවදුරටත් Krakozhia ව ස්වෛරී රාජ්‍යයක් වශයෙන් පිළිනොගැනීම හේතුවෙන් ඔහුට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කෙරෙයි. ඔහුට ගුවන් තොටුපලින් එලියට යාමට ද නොහැකි ය; නැවත තම රට වෙත යාමට ද නොහැකි ය. මේ සියලු කාරණා මත ඔහු ගුවන් තොටුපල පර්යන්තයෙහි සිරකරුවෙකු වන අතර ඔහුගේ අභිරහස් Peanut Can (රටකජු කෑනය) එක සමඟ ගුවන්තොටුපල පර්යන්තයෙහි ජීවත්වීමට පටන්ගනියි.
මෙම චිත්‍රපටයෙහි තේමාවේ එන පරිදි ම චිත්‍රපටයේ චරිත මඟින් අපෙන් නැවත නැවත අසන ප්‍රශ්ණයක් ඇත. “ඔබ මඟ බලා හිඳින්නේ කුමක් වෙනුවෙන්ද“? කෙනෙකු ප්‍රමාද වුණු ගුවන් යානයක් එනතුරු ද කෙනෙකු තමා කරන නීරස රැකියාවෙහි විශ්‍රාම වැටුප ලැබෙනතුරු ද කෙනෙකු තම සිතෙහි ඇඳුණු පිවිතුරු ආදරය පැමිණෙන තුරු ද මඟ බලා සිටින අතරතුර Viktor Novorski නිව්යෝක් නගරයට පය තැබීම සඳහා මඟ බලාගෙන සිටියි. “ඔබ මඟ බලා හිඳින්නේ කුමක් වෙනුවෙන්ද“? ගුවන් තොටුපල තරම් මෙම ප්‍රශ්ණය අප වෙත දමාගැසීමට සඳහා සුදුසු ම පසුබිමක් සපයන තවත් තැනක් නොමැත. නියම පුද්ගලයා වෙනුවෙන් නියම මොහොත වෙනුවෙන් නියම තීරණය වෙනුවෙන් අපි අපේ මුළු ජීවිත කාලය පුරා ම බලා හිඳිමු.
එක් දිනයකදී Viktor විසින් ගුවන් තොටුපල පර්යන්තයේදී හමුවන සුරූපිනියක වන Amelia හට පවසනුයේ තමා නිව්යෝක් නගරයට පැමිණෙනුයේ Saxophone (සැක්සෆෝන්) වාදකයෙකු වන Benny Golson ගේ සමරු අත්සනක් ලබා ගැනීමට බව ය. මෙහි දී හෙලිවන කරුණ වන්නේ ඔහු සුරැකිව ලඟ තබාගෙන සිටින Peanut ටින් එක තුල තිබුණේ වෙන කුමක්වත් නොව “Great day in Harlem“ නම් ප්‍රකට ඡායාරූපය හා තවත් සමරු අත්සන් රාශියක් බවයි.
උග්‍ර ජෑස් (Jazz) සංගීත ලෝලියෙකු වන ඔහුගේ පියා 1958 දී හංගේරියානු පුවත්පතකින් මෙම ඡායාරූපය සොයාගත් පසු ඡායාරූපයේ සිටින ජෑස් සංගීතඥයන් 57 දෙනාගේ ම සමරු අත්සන් ලබාගන්නා බවට ප්‍රතිඥා දී ඇති ඇත. ඔහු අත්සන් 56 ක් ලබාගැනීමට සමත් වූවත් එම කාර්යය සම්පූර්ණ කිරීමට පෙර ඔහු මියගොස් ඇත.Viktor නිව්යෝක් නගරයට පැමිණෙන්නේ මෙම කාර්යය සම්පූර්ණ කිරීම සඳහා ය.
"Life is waiting"
“ජීවිතය යනු බලාපොරොත්තුවයි“
Friday, June 15, 2012
මේ බැඳීමට නෑ කිසි නමක්
මට ඔබේ වන්නට බැරි වුනත්ඔබ මගේ වන්නට බැරි වුනත්අපි අපේ වන්නට බැරිවුනත්මේ බැඳීමත් මහ අරුමයක්.පොඩි උන් වගේ අපි තරහ වෙනහසරැලි නඟා යලි යහළු වෙන.මිතුදමකි මේ මිතුදම නොවනමිතුදම ද කිසිදා නොහඳුනන.ලොව නමක් නැති දේවල් නැතත්මේ ආදරය බව දැන දැනත්අපෙ බැඳීමට දෙමු එක නමක්මේ බැඳීමට නෑ කිසි නමක්.
Saturday, June 2, 2012
තව හඬන්නට මට කඳුළු නෑ...
ඇය - ඔබ දුර නොයන් මට මේ තරම්
ඔබ ළඟ ඉන්න බැරිවෙන තරම්.
ඔහු - මට ළං නොවෙන් ඔබ මේ තරම්
මට දුර යන්න බැරිවෙන තරම්.
ඇය - ඔහුගෙන් නොලද සෙනෙහස අරං
ආ වසන්තය ඇයි පමා වී.
ඔහු - මගෙ ඉරි තැළුණු හදවත අරං
යමි නවාතැන තව දුර වැඩී.
ඇය - ඔබෙ උර මඬල මා හිස හොවන්
සුව විඳින්නට මට වරම් නෑ.
ඔහු - පරසතු මලට මගෙ හිත බැඳන්
තව හඬන්නට මට කඳුළු නෑ.
Subscribe to:
Posts (Atom)