Monday, June 27, 2016

එපමණයි ඔබහට කීමට ඇත්තේ මාහට...














හිඳී නම් මා නෙතු අවදියෙන් 
ඔබ මගේ ඇස්දෙකේ පැටලි පැටලී ඉන්න 
හිඳී නම් මා නිදිවැදී 
ඔබ මගේ හීනයේ දැවටි දැවටී ඉන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට.

සීත වැහි බිඳු ඇවිත් ඔය කම්මුල් තෙමයි නම් 
ඒ බිඳුවල සැඟවී ඉන්නේ මමයි 
උණුසුම් හිරු කිරණ විත් ඔබට කරදර කරයි නම් 
ඒ කිරණේ සැඟවී ඉන්නේ මමයි 
මා කොහේ සිටියත් නැතත් 
ඔය හිතේ කොහේ හෝ අඳුුරු මුල්ලක් දෙන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට. 

මල් සුවඳ මුසු පවනෙ සැඟවී මා එන්නම් 
ඔබේ මුදු සිරුර මා සිපගෙන හමන්නම් 
ගලායන කාලය මා නවත්වන්නම් 
ඔය සිනාවේ මා නැවතී හිඳින්නම් 
මා කිසිවක් කීවත් නැතත් 
ඔබ මගේ හදවතට ඇහුම්කන් දී ඉන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට. 



Thursday, June 9, 2016

වෙන කාටවත් නෙමෙයි තියා ගත්තේ ඔබටමයි













සඳ එලිය සේ සුදුම නිකැලැල් සිතුම් 
කිසිදාක ඉටු නොවුණු නොයිඳුල් පැතුම් 
හීනයක් වාගේම මේ සොඳුරු හැඟුම් 
වෙන කාටවත් නෙමෙයි 
තියා ගත්තේ ඔබටමයි 

හිමිදිරියෙ ළහිරු කෙඳි මා ඇහැරවාවී 
තවම නිදි නෙතු දිහා මං බලා ඉන්නම් 
ඒ ලොවින් පිබිදිලා මගෙ ලොවට ආවොතින් 
මං මගේ තුති පඬුරු මුව මත්තෙ තබන්නම් 

සේද කෙහෙ රැලිවලින් කිතිකවනවානම්
ඔබේ සුව උකුල මත මං නිදාගන්නම්
'ආදරෙයි' කියූ විට නෙතු වසිනවානම් 
රතුපාට තෙත කොපුල් මං උරා බොන්නම් 

මේ පුංචි මල් ගොමුවෙ අතරමං වෙලානම් 
මල් කිනිති නොපාගා මං හොරෙන් එන්නම් 
මිදුල දිග මගේ ලඟ තුරුලු වී ඉන්නකං 
නිමක් නැති රස කතා මං අහන් ඉන්නම්. 

සඳ එලිය සේ සුදුම නිකැලැල් සිතුම් 
කිසිදාක ඉටු නොවුණු නොයිඳුල් පැතුම් 
හීනයක් වාගේම මේ සොඳුරු හැඟුම් 
වෙන කාටවත් නෙමෙයි 
තියා ගත්තේ ඔබටමයි.

Wednesday, January 6, 2016

කොළඹ අහස කළුවරයි.










බස් බාගේ තෙරපි තෙරපි
කෝච්චියේ පැද්දි පැද්දි
දවස ගානෙ අපි යනවා
කොළඹ වන්දනාවේ.

හීන දුන්නාට ජීවිතයට

පාට දුන්නෑ කවදාවත්.
ඒ හීන පොදි බැඳන්,
හෝල්ට් එකේ ඉස්ටේසමෙ
කන්තෝරුවෙ වැඩපලේ
පාසලේ පන්තියේ
මේ කොළඹ අහස යට,
හෙවනක් හොයාගෙන
ඇවිදිනව තාමත්.

දූවිලි හුළඟින් පිරුනට

යන්න බෑ මට ගමට
අතැර මේ නගරය;
ජීවිතයෙන් වෙන්වී ගිය
ඉහල පහල හුස්මගන්න
පුංචි පුංචි මතකයන්
හැමතැනම තැවරිලා.

දඬුකෝඩු උන් එක්ක

කිරිකෝඩු කලවමේ
බස්බාගේ තෙරපි තෙරපි
කෝච්චියේ පැද්දි පැද්දි
අපි වාගේ උන් ඒවී
කොළඹ වන්දනාවේ.

මේ... කොළඹ නගරයයි,
කොයි තරම් දුන්නාද
ඒ තරම් උදුරාගත්
පපුවක් නැති පොලීකාරයා.

Thursday, November 12, 2015

පෙමින් බැඳුනෙමි ජීවිතයට...















මා පයට තණනිල්ල
අඳුරු කුස මා හිසට
සඳ බඳුන හලාලූ
කසුන් සුණු වැස්සකින්
මුළු අහස හැඩිවෙලා;
දවස දිග අයාලේ
ඔහේ ගිය තනිහිතත්
මගේ ලඟ නැවතිලා;
මේ අහසයි
මං විතරයි.

පාළු බිඳුණු නිවහන
පෙනේ  ඈත ඉම
කිසිවෙක් නොයන මඟ
කැලෑ වල් වැදී ගිය;
නිහඬබව බිඳින
සිහින් දිය පහරක්
කිසිවක් නොඅසා
මා හා දොඩමළු වන;
කඩා වැටෙන තරුවක්
පෙනේ ක්ෂතිජයේ
එය පරයා නැඟෙන
අලුත් තරු සහසක්.

සඳ කලා බැස ගියද
යලි නැඟෙනු ඇත පුරසඳ
ගෙවී ගිය පසු හේමන්තය
නව දළු සලා නැඟනු ඇත වසන්තය.

තවමත් මා අත
ඇත ජීවිතය ඉතිරිව
හදවත ගැහෙන හඬින්
දනිමි ජීවත් වන බව
ශක්තිමත් පියාපත්
තනිව සරන සියොතුන්ට
කිසි කලෙක නොවුනු ලෙස
පෙමින් බැඳුනෙමි ජීවිතයට.

Friday, October 9, 2015

පොත් මගේ ආදරවන්තිය.



තාමත් ඒ සුවඳ මතකයි
හමුවූ මුල්ම දිනයේ.
ඔබව හිමිකරගන්න
වින්ද දුක් කෙතරම්
පොත්: මගේ ආදරවන්තිය.

ඔබව තේරුම් ගන්නකං
ඉවසුවා ඔබ සෙනෙහෙන්.
මගේ දාඩිය වතුරින්
තෙත් වුනා ඔබෙ මුදුපත්
පොත්: මගේ ආදරවන්තිය.

ඉරි කෑලි තරු ලකුණු
කැත කලාට ඔබෙ පිටු
ඔබේ සීරීමක් දැක්කත්
කලබල වුනා මට මතකයි
පොත්: මගේ ආදරවන්තිය.

සඳ රේණුවක් දිගේ
අකුරින් අකුර අමුණන
මේ සෞම්‍ය රාත්‍රියේ
ඇදගෙන මා සුරතින්
කිනම් මිටියාවතක මා
අතරමං කරාවිද
දන්නේ කවුරුන්ද
පොත්: මගේ ආදරවන්තිය.

Thursday, June 25, 2015

ජීවිතය අඬගසයි...

මේ එදා මේසයයි
ඔබ+මගේ නම් කෙටුව
මේ කැලලි සාක්කියි
ඇඟිලි තුඩු හඳුනනා.

මේ රවුම් බංකුවයි
දකිනතුරු ඔබ ඈත
මා දෙපය ගිමන් හල
සේපාලිකා මල් තවම
සිපිනවා ඇති පොළොව.

මේ එදා ස්ටේසමයි
අප දෙදෙන වෙන්ව ගිය
දිනෙක යලි හමුවන්න
මගේ සිත පෙම් කෙරුව.

මේ එදා කවියයි
ඔබ නමින් මා ලියුව
දිවමතුරක් මෙන් මා
මතකයෙන් මිමිණුව
වචනයෙන් වචනය අද
හද තන්තු පාරවන.

මේ එදා නගරයයි
ඔබව මා මුණ ගැසුව
ජීවිතය වෙනුවෙන්
තවම අප යුද වදින

නුඹ මගේ මතකයන්
තැවරුණු තැන් හැම තැනම
මං තවම එතනමයි
නොදන්නෙමි ඔබ කොහිද
නෙත් තවම නිරුවතින්
අනන්තය බලාගෙන
ඔබේ සිත යදින්නට
දනිස් සුඛනම්‍ය නැත
ජීවිතය අඬගසයි
මා නැවත යායුතුය.

Saturday, March 21, 2015

යලි මට දෙන්න සොඳුරිය මා සෙනේ පිරූ...



ඔබ රූ අමා මා නෙත පවස නිවූ
දවස දුරයි ඔබම ද මා පෙම් කෙරූ
නොයදිමි යලිත් සෙනෙහස නුඹෙ නමට පිදූ 
යලි මට දෙන්න සොඳුරිය මා සෙනේ පිරූ

Saturday, January 17, 2015

සොඳුර මේ සියලු දෙය ඔබව හමු වූ දා පටන් .....












මීට පෙර ඇසුනාද සුළඟ කියනා රහස් 
කුසුම් පෙති ඉහිරුවා හිසට මගෙ වතාවක් 
පිටුව පෙරලං ගියා අමනාප නෑ තවත් 
සොඳුර මේ සියලු දෙය ඔබව හමු වූ දා පටන් 
ඔය නෙතින් මගේ සිත සිපගත්ත දා පටන් 

සඳ මවුන් මා ළඟින් තරු දරුවො පිරිවරං 
නින්ද මට දුන්නෙ නෑ තුන්යම ම ගෙවෙනකං 
කවි පෙලක් ලියන්නට ගෙවූවා මුළු රැයක් 
සොඳුර මේ සියලු දෙය ඔබව හමු වූ දා පටන්  
ඔය නෙතින් මගේ සිත සිපගත්ත දා පටන් 

පොද වැස්ස හැලෙනවා රිදී ඉරි වලාවක් 
පොළොව මත පිපෙනවා වැහි මලිති යායක් 
ඒ වැස්සෙ තෙමෙනවා මට නොමැත ගානක් 
සොඳුර මේ සියලු දෙය ඔබව හමු වූ දා පටන් 
ඔය නෙතින් මගේ සිත සිපගත්ත දා පටන් 

Wednesday, December 31, 2014

ආදරය නොදී මට දුන්නෙ ඇයි හදවතක්.....




21/12/2014












පමා වූ අතීතය හිත අස්සෙ හිරකරන් 
සිත් රුහිරු තෙත් කලා පත් ඉරුව පෙඟෙනකං 
ජීවිතය මා නුඹෙන් ඉල්ලුවේ එක දෙයක් 
ආදරය නොදී මට දුන්නෙ ඇයි හදවතක් 

ඔබේ කවුළුව මත්තෙ පිනි කඳුළු බිංඳුවක් 
සුළඟ ගෙනැවිත් තැබූ මගෙ නෙතින් සොරාගත් 
ඔබ දිහා බලාගෙන ඈ ඉන්නවානම් 
සඳවතිය මගේ දුක ඈට ගොස් කියාපන් 

ආදරය නොකීවේ ආදරය නිසාවෙන් 
හැමදාම වෙන්ව ගිය තැන ඉන්නවා මං 
ඔබ යලිත් හමුවන්න එකම එක වතාවක් 
නොසඟවා කියන්නට එකම එක කතාවක් 

Tuesday, October 28, 2014

කවුරුන්ද මා



















ඔබ 
මා සමඟ ගත කල 
දින මිනිත්තු කිහිපය මත 
මා කවුදැයි 
තීරණය කිරීමට ප්‍රථම 
බසින්න මාගේ සපත්තුවට 
හිරිවැටුණු දෙපා සනහාලූ; 
පිය මනින්න මා සමඟ 
ඒ අඳුරු මාවත්වල 
ගොරබිරම් වැස්සට 
ගුලිවෙන්නට තැනක් නොපෙනෙන. 

තනිවෙන්න මා සමඟ 

මුහුදු තෙර ගල්කුල මත; 
විඳිමු ඒ අරුණ හිරු කෙඳිති 
දෑස් පෙති පියාගෙන 
හරිම උණුසුම් නේද?

ගිල්වන්න ඔය අත් 

මගේ අත් වැසුමට 
රළු කරගැට සඟවාලූ; 
දහඩියෙන් තෙත ඇති, 
සොඳුරු මතක සටහන් 
පොරොන්දු වූයේ නෑ ඔබට. 

මී ඔඩම් හප්පන්නට එන්න 

මේ මිහිරි මිනිසුන් සමඟ; 
ඇදදමා මා මිටියාවතට 
අත්වැල් බැඳ ගී ගැයූ. 

හැඳගන්න මාගේ කබාය 

පෑරුණු හදවත සඟවාලූ. 
ඈ සමඟ මිමිණූ වදන් 
ඔබට නෑසෙන්න ඇති 
බොඳ මීඳුම් පටලයක් 
හදේ රැඳි රූ ඇගේ. 

සෑම කෙනෙකුට ම 

කතාවක් ඇත 
කියන්නට සිතේ සිරවූ.

ජීවත් වූ පසු 

ඔබ 
මගේ ජීවිතය 
හැකිවේවි හඳුනාගන්නට 
කවුරුන්ද මා.

Sunday, October 5, 2014

තුරුළු කර විඳ ගනිමි මේ මිහිරි දඬුවම්.









ඉඳු නීල නෙතු කවුළු මා දෙසට හැරපියන් 
නින්ද නැති සිහිනයක ඔබ මාව සිරකරන් 
මේ සුවඳ ආදරය අයිති මා හට නම් 
තුරුළු කර විඳ ගනිමි මේ මිහිරි දඬුවම්. 

හද මැදුර දොර අගුළු ඔබට හැර දමන්නට 
මේ වසත් කාලයයි ඔබ ඇවිත් නැහැ තවම 
සඳවතිය මා ළඟයි පියවරක් ගානේ ම 
මං නැතිව පාළුවක් නොදැනුනිද ඔය හිතට. 

සියක් මල් මියෙද්දෙන් හද පුදසුන මත්තේ  
නොපිදූ මලක සුවඳට සිත ලතැවෙන්නේ 
ඔබ කෙරේ බැති සිතින් මම මෙහේ මියෙන්නේ 
මේ කඳුළු මගෙ නෙමෙයි ඔය ඇසට නොදෙන්නේ. 

Saturday, July 26, 2014

හමුවනතුරු අප ආයෙත්...



                      අවසන් දිනයේ අවසන් මොහොතේ ඔබට නොකියා යන්නට ගිය මා නැවත ඔබ ළඟට පිය නැංවූයේ කුමන ඉන්ද්‍රජාලයකින්දැයි මට තවමත් නොතේරේ. දෙනෙතින් සිනා පා ඔබෙන් සමුගැනීමට ගිය මගේ අත අල්ලා සුභ පැතූ ඔය දෑත අල්ලා ගත්තේ නැවත අතහරින්නට නම් නොවේ.
                        ඔබ හා සිනාසී වචනයක් කතා කරන්නට දුටු සිහින කොතරම්ද; සැබෑ වූ ඒ සිහිනය මැද ඔබගේ ආදරය විඳින්නට මගෙ හිතේ ගැබ්බරව ඇති ආදරය ලෝබකමක් නැතිව ඔය අත්ල මත තබන්නට සිහින දකිමි විරාමයක් නොමැතිව.
                        දුහුවිල්ලකි බාධක ගල් පරුවත මිහිරි ගීයකි ඇනුම් බැනුම්ද ඔබ රුව හිත ළඟ තනි රකිනා විට. සිනාසෙමි මා තනිව ළදරුවෙකු ලෙස දුක කුමක්දැයි නොහඳුනන.
                        මා නිල් අහසේ පාවෙන දුහුලු වලාවක් කල, මඳ සුළඟේ නැලවෙන ලපල්ලක් කල මේ ආදරය රැක ගනිමි දිවි තුරාවට රැගෙන යමි සංසාරයෙන් සංසාරයට
                                                        හැමදාමත්  ආදරෙන්...

Sunday, June 22, 2014

ඔබ නීල නෙතු ලඟ ....














ඔබ නීල නෙතු ලඟ 
අසරණයි මා, 
මගේ කවිකම. 
උවම් සොයමි ද කොහේ 
වචන ද 
මගෙන් දුර ඈත විට. 

සුමිතුරු මගේ පන්හිඳ 
අවනත නෑ මට ම ද 
අකුරක් නෑ ලියන්නේ 
කුරුටු ගානවා විතරයි. 

නිඳිගන්නේ කොහොම, 
ඇසිපියා සයනයේ 
යුද වැදුනා පමණයි; 
සුසුම් ලෑවා විතරයි. 

නෑ හිතේ තරහක් 
හැංගුනාට සඳ කොමලිය 
සුදු වලා සේද‘තර 
සොරා යමි මේ අහසින් 
මගේ ම විශ්වයට ඈතට 
වසන්තයේ එක දවසක 
හොවා මා දෝත‘තර 
ඔබේ රූ මී අමා  
පුරා බොමි මා නෙතු විත. 

Monday, February 10, 2014

ඔබ ඉන්න පෙම් හීන සියුමැලිද කොයිතරම්.....




ඔබ ඉන්න පෙම් හීන සියුමැලිද කොයිතරම්
මුදු රෝස කොපුල් පෙති සිපගතිමි සියවරක්
ඔය නීල නෙත් කැළුම් යදින්නේ මාව නම්
දුරින් ඇයි මේ තරම් ඉවසන්න බෑ තවත්.

ඇසෙන හැම ගීයක් ම හද පතුල පෑරුවා
මුළු රෑ ම නිඳි නැතිව හිත හිතා වි‍‍ඳෙව්වා
මේ හීන එලි වෙන්නෙ කවර දින දෝ කියා
අකීකරු සුසුමකින් පපුව ඇවිලී ගියා.


අරමුණත් ගැන නොදැන ගෙවූ කල නිමාවී
ඇරඹුමද මාවතද නැවතුමද ඔබම වී
මේ හීනයක් නෙමෙයි සත්තක් ම පවසමී
ඔබ මගේ කරගනිමි ඉවසන්න සමනලී.



Monday, December 30, 2013

මේ වචන හැර නැත කිසිදු වස්තුවක් මා මෙතෙක් ඉතිරි කර

               

               
                  මැදියමේ නිඳි නැතිව තෙත් කරමි මා මේ පත් ඉරු තවමත්. නෑ සිතුම් නැවතුමක් නවතිනා තැනින් යලි යලිත් දළු දානවා විනා. ඔබ විසල් නෙත් කැළුම් අවදිව තබයි මා සිතුම් තවමත්. මට මා කවුදැයි කියා දුන්නේ ඔබයි; ඔබයි මා පෙරමඟ පහන් තරුවත්; පියවරක් ගානේ පෙනෙන සුභ ලකුණත්. 
                මොහොතක් මොහොතක් ගානේ ඔබ ගැන ම මා මැවූ ඒ මවුවත් සිතුවිලි කුසුමන් අසල පැරදුනාදෝ නිමල සඳ කිරණත්. පුදමි ඒ පිවිතුරු ආදරය උන්මාදිනිය ඔබ හට ම. කැපකලා මා ජීවිතය ම ඔබ කෙරෙහි සෙනෙහසින්. කිසිවක් නෑ මා අත ඉතිරිව, පරිත්‍යාගයක් මිස අයිතිකරගැනීමක් නොවන වග ආදරය, කියා දුන්නේ ඔබමයි. ඔබ වෙනුවෙන් ජීවත්වන්නට හුස්ම පොද පමණක් සිරකරගත්තා පපුව තුල, එපමණයි මා ළඟ ඉතිරිව. ඔබේ සිත සොරා යන්නට මේ වචන හැර නැත කිසිදු වස්තුවක් මා මෙතෙක් ඉතිරි කර, එයද වටිනා දෙයක් යැයි කිව හැකිනම් පමණක් ඔබට අයිතියක් ඇත එයට අවනත වන්නට.
     
                                                                                          - 29/12/13

            

Friday, November 29, 2013

හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා




හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා

අතින් අත පටලා
ඔහේ යන්නට හීන මවනා
සංසාරයෙන් සංසාරයේ
එක්ව ඉන්නට පැතුම් පතනා
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා

ඇස් කෙවෙනි රතුවන තුරා
මා එන පෙර මග ම බලනා
දහක් නෙත් අතරේ
මගේ නෙතු බැල්ම යදිනා
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා

ගැහෙන හදවතට කන්දී
ඇහිරෙන්න පපුතුරේ ලංවී
කතා කරන ඇස්වලට කිමිදී
කියවන්න කිසිදා නොලියූ කවී
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා

Tuesday, October 15, 2013

ඒ සංසාර ආදරය කවදා හෝ මා ලඟයි.


                                 

                       


                        එක් ආදරණීය බැල්මක් සතුටු කරනවාද පෙම්වත් හදවතක් කෙතරම් කල්ප කාලාන්තරයක් පුරා ලං කරගන්නට පෙරුම් පිරූ ඒ සංසාර ආදරය මා ලඟ කවදා හෝ නතරවන බව දැනෙයි දැන් දැන් නිසැකව ම. දහසක් නෙත් පසුකර නැවතුනේ ඔය නෙත් ලඟ ම යි. ඒ නීල නෙත් විලේ කිමිදෙන්නේ මා කවදා.
                    ඔහේ ගියා මා මෙතෙක් කල් ගමන කුමක් දැයි නොදත්තෙම්; මාවත කුමක් දැයි නොදත්තෙම්; නැවතුම කුමක්දැයි නොදත්තෙම්. ඔබ පසුපසින් මා එමි මවක පසුපස්සෙන් යන ළදරුවෙකු පරිද්දෙන් නොඅසමි ඔබෙන් කිසිදා රැගෙන යන්නේ මා කොහේ ඔබ ම මා අරමුණ බැවින්.
                    වසර ගණනකින් නොඇන්දෙම් මා සිතුවමක්;මා තෙලිතුඩට සත්තමයි නොතිබුනේ අරමුණක් මගේ පැන්සල දැන් සොයන්නේ ඔය රුව ම යි. ඒත් කොහොම අඳින්නද ඉන්නේ නෑ එක විදිහකට හිනාවෙනව, ඇද කරනව, පැද්දෙනවා, නැලවෙනවා හිත ඇතුලේ හරි කලබල.
                    ඔය විදිහට ම දඟ කරන්න මා තුරුලේ ඉඳන් තරවටු කරන්නේ නෑ කවදාවත් ආදරෙයි මං මගේ දඟ මල්ලට.

Tuesday, September 17, 2013

ඔබ ම මා කවිය වී....














ඔබේ රුව වනන්නට
මගේ කවිකම් මදී
ඔබ ගැන ම කවි කුමට
ඔබ ම මා කවිය වී.

නුඹේ රුව සම කරන
සිතුවමක් වනු බැරි ව
සුදු කොලය මත වැතිර
පැන්සලය මගෙ හඬයි.
රළු පරළු මිනිරනින්
ඇන්ද සිතුවම් කුමට
ඔබ මගේ හදවතේ
සිතුවමක් වී නිදයි.

නුඹට ඇති සෙනේහය
පවසන්න ලතවෙමින්
නුඹේ සඳ උවන ලඟ
පිළිරුවක් වී හිඳිම්
වචනයෙන් කිලිටිකර
කුමට මා කියනු එය
ඔබ අතර
මා අතර
ගෙවී යන නිහඬ බව
ඔබ කෙරෙහි විලිලමින්
ගැබ්බර ව ඇති සිතුම්
කාටවත් නෑසෙන්න
ඔබට කොඳුරයි හෙමින්.

Saturday, August 31, 2013

නිහඬ සියුමැලි සමනළී


නිහඬ සියුමැලි සමනළී 
නිල් ඇස් දෙකෙන් හරි දොඩමළුයි. 
ඔහේ නැලවෙන විසේකාරී 
මගේ හීනෙ දඟ වැඩ කරයි. 

ඈත ජීවන මංතලේ 
එක දිනක ඔබ හමුවෙමි කියා 
ඔබෙන් දුරකට යන්න යන්න 
ඔබ තව තවත් මට ළං වුනා. 

සීත සඳ පිනි ආදරේ ළඟ 
ගැහැණු සිතකින් උපදිනා 
හිතුමතේ කීවාට නාහන
පිරිමි හිත මගෙ පැරදුනා.

Sunday, August 11, 2013

හිනාවෙන්න දන්නෙ නැතෝ !!!

               


 මගේ වටේ මිනිස්සු දකින දකින වෙලාවට විරිත්තගෙන ඉන්නවා දැකීම තරම් සතුටක් මට තවත් නැහැ. 
               කණ්නාඩියෙන් කොන්ඩෙ පීරල ඒක ඇතුලෙ ඉන්න මනුස්සයාට ඇහැක් ගහන්න, උදේ පාන්දර හම්බවෙන මනුස්සයාට සැලුට් එකක් දාන්න (කොච්චි හෝල්ට් ඕනෙ නෑ) දවස බ්‍රයිට් වෙනවා නියතයි.
                 තමන් ආදරය කරන වැඩක් කරන්න‍; තමන් කරන වැඩේට ආදරය කරන්න. ඔබ දෙයකට හදවතින් ආදරය කරන්නෙ නැත්නම් ඒ දේ අල්ලන්නවත් එපා. මේක ආදරය කරන හැම දේකට ම අදාලයි. එහෙම උනාම රස්සාවට ගිහිල්ලා යාන්තම් දවස තලාගෙන ඉන්ටවල් එකට ගෙදර යන්න ඕනෙ නෑ. පංතියේ දේශන එපා වෙන්නෙ නෑ. විභාගය ඊරි යකෙක් වෙන්නෙ නෑ.
                   ඇත්තට ම ජීවිතය සුන්දරයි. ඒක බොරු වෙන්නෙ නෑ.

Wednesday, May 8, 2013

ආදරය ..........ගමන ම ය.



සැනසුමක් කොයි කොතැන 
නැවතුමක් නැති තැනක 
නැවතුමක් කොයි කොතැන 
ආදරය ගමන ම ය. 

ඔබ තැනක නැවතිලා 
ඔබට යලි එන්න බෑ 
ඔබේ ළඟ නැවතිලා 
මට යලිත් හැරෙනු බෑ. 

ඔබේ නැවතුම ළඟින් ඔබෙ  
ගමන අරඹනු මැනේ 
මගේ නැවතුම ළඟින් මා 
ගමන නිම කරන්නේ. 

සැනසුමක් කොයි කොතැන  
නැවතුමක් නැති තැනක 
නැවතුමක් කොයි කොතැන 
ආදරය .............ගමන ම ය. 

Wednesday, March 13, 2013

මං තාම එතන ම ලු.

       


             ඕලෙවල් යන්තමින් ගොඩදාගත්තු ගමේ කොල්ලො මෝටසයිකලෙන් රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. මගේ ඥාති කොල්ලො කෙල්ලො වැඩ කරන්නෙ බැංකුවල ලු; ලෝන් ගන්න ලේසි ඇති ලු. මං තාම එතන ම ලු. එහා ගෙදර කොල්ලා උල් සපත්තු ටයි දාගෙන රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. අනිත් උන් වගේ තට්ටු දෙකේ ගෙයක් මං කවදා හදයිදෝ ලු. මං තාම එතන ම ලු. අර වාගේ කාර් එකක් මං කවදා ගනියිදෝ ලු. මං තාම එතන ම ලු. අච්චර මැටිමෝල් යක්කු මටත් වඩා ඉහළ යද්දි මෙච්චර ඉගෙන ගත්තු..... මං තාම එතන ම ලු.

Friday, February 1, 2013

මිනිසුන්ට ඇබ්බැහි වූයෙමි.

              මීට අවුරුදු හයකට පෙර මා මේ සිටින තැන සිටින්නට සීනෙකුදු නොසිතුවෙමි. නොමේරූ යෞවනයෙකුගේ සිහින වලට බැනවැදීම සාධාරණ නොවූවත් මා ඒ සිහින දෙස බලනුයේ උපහාසයෙනි.මා ද සමහර කවියන් මෙන් මනෝරාජික මානවවාදියෙක් ව සිටියෙමි; නමුත් මගේ සිහින සියල්ල පුපුරා ගොස් මා ඇද වැටුනේ ඒ මිනිසුන් මැද්දට ම ය. ඒ ජීවිතයේ මුල් පියවර කිහිපය තුල මා අපේක්ෂා භංගත්වයට පත්වූවත් පසුව ඒ සියල්ලට ම ආදරය කරන්නට මා පුරුදු වූයෙමි.
              ඒ මිනිසුන්ගේ වචන මා කෑදර කමින් ගිල දැමුවෙමි. සමහර වචන මගේ ජීවිතයේ ආදර්ශ පාඨ වන්නට පටන් ගති. මා ලියන හැම වචනයක ම ඔවුන්ගේ සුවඳ මුහුවන්නට පටන් ගති. ඔවුන් මා සිටින කවුළු වැසූ අඳුරු කාමරයෙන් මා අල්ලා පයින් පාරක් ගසා හිරු එළිය ගලන මිටියාවතට තල්ලුකර දමා මා වටා අත් අල්ලා ගී ගයන්නට පටන් ගති. දැන් කවරදාටත් වඩා මං ජීවිතයට ආදරය කරමි; ඒ මිනිසුන්ට ආදරය කරමි; මා සැබවින් ම ඔවුන්ට ඇබ්බැහි වූයෙමි.